milinda-prashna

2017/07/19 – ලංකාදීප

මනුෂ්‍ය පැවැත්ම සනිටුහන් කරන අංග අතරින් ආගම ඉතාම වැදගත් එකකි. එය අනන්‍යතාවයේ ලක්ෂණයකි. සංස්කෘතිය හැදෙන්නේ ආගමික දර්ශනය, විශ්වාස හා වත්පිලිවෙත් අනුවය. ජන ජීවිතය ගොඩනැගෙන්නේ ආගම හා එය කෙරෙහි ඇති භක්තිය විසින් ඇතිකරන්නා වූ විනය පදනම් කරගෙන බව සඳහන් කළ යුතුය. ලෝකයේ සියළු ඇවතුම් පැවතුම් ආගමානුකූල එකකි. පිලිගනු ලැබුව ද නැති වුව ද අප ජීවත්වන වට පිටාව ආගමානුකූල රීතීන් විසින් ආවරණය කර තිබේ. ජාත්‍යන්තරය පුරා ආගම් විශාල ප‍්‍රමාණයක් තිබේ. ඒවායෙහි බැඳී ඇති ආගමික දර්ශනය පොදු ජනතාව උතුම් ගුණාංග වලින් පොහොසත්කර උසස් තැනකට ඔසවා තබයි.

තමන්ගේ ආගම වශයෙන් බුද්ධාගම අදහන හෝ එහි අන්තර්ගතව ඇති බුද්ධ දේශණාව අනුව ධර්මානුකූල ජීවිතයක් ගත කරන පුරවැසියන් බහුතරයක් වෙසෙන රටකි. බුද්ධාගම අන්තවාදී එකක් නොවේ. එය තර්කානුකූලය. අට ලෝ දහම ගැන කියා දෙයි. සත්‍ය දකින්නට හැකිය. සමානාත්මතාව එහි වැදගත් සේ දක්වයි. බුදු දහම ගැන අපමණ කරුණු දන්නා ලාංකේය බොදු ජනතාව වෙත මෙම අදහස් නැවත පළ කරන්නට සිදුව ඇත්තේ ඇයි? දහම හා එහි ඇතැම් දේ ගැන වර්තමානයේ රට තුළ බරපතල කාරණා සේ සාකච්ඡා වන හෙයින්ය. සංඝ සමාජය, දේශපාලනය හා ජන සමාජය අතර පැවැති අනොන්‍ය බැඳීම් හා ගෞරවය පලූදු වන තරමට මෙම අදහස් උදහස් හා තීරණ ගැනීම් දුර දිග යන බව පෙනේ. එය අනුචිතය. අප සියළු දෙනා තමන්ගේ භූමිකාව හා අන්‍යයන්ගේ අයිතිය ගැන සාවධාන විය යුතුය.

සංඝ බේධය ඇති කිරීම සුදුසු නැත. මහා සංඝරත්නය පැවත එන්නේ බුද්ධ වංශයෙන්ය. අද වන විට බෙදීම කොපමණ දුර ගමන් කර ඇත් ද යත් මෙරට පවා නිකාය, අනු නිකාය, රජමහා විහාර, විහාර, සේනාසන, අසපු, ආරාම සහ බෞද්ධ මධ්‍යස්ථාන වශයෙන් නොයෙක් තැන් බිහි වී තිබේ. මෙම බෙදීම නතර කර සියළු තැන් අරහත් ධජය යටතේ එකතු කළ යුතුය.

බුද්ධ ධර්මයට හිමි නිසි පදනම සකසා දහම පෝෂණය කිරීම අද ඇති බලවත් වගකීමකි. නමුත් අද සිදුවන්නේ අනෙකකි. දේශපාලන බලය වෙනුවෙන් ආගම භාවිතා කිරීමය. එයින් සංඝ බේධය ඇතිවී තිබේ. සංඝරත්නය අතර බේධ ඇති කර සහ මහා සංඝරත්නය අවනත කරගෙන දේශපාලනය පැවැති අන්දම ගැන ඉතිහාසයේ සිට උදාහරණ එමටය. ලෝකයේ  ඕනෑම රටක හෝ  ඕනෑම ආගමක අන්තවාදය තිබිය හැකිය. එයින් බෙදීම් හටගෙන සමාජ විනාශ වූ බවට පාඩම් තිබේ. නැවතත් ආගම අනුව බෙදෙන්නට, බුදු දහම නොතකා කහ ධජය දේශපාලනයට අමුණා රට අවුලවන්නට ඉඩ දිය යුතු නැත. පරිනත දේශපානඥයන් සිය බුද්ධිය මෙහෙයවා බුදු දහම අවුලවන කාර්යය මැඩ පැවැත්වීමට පියවර ගැනීම සුදුසුය. මහා නායක හිමිපාණන් වහන්සේලා සිය භික්ෂු පරපුර අවනත කර ගත යුතුය.

ධර්මය විකෘති වී නැත. නමුත් සංඝ සමාජයේ විනය පිරිහී ඇත. එය ගිහි සමාජයේ  විනය පිරිහීමට හේතුවකි. දේශපාලන සහ සමාජ නායකයන් සමාජය තුළ සිදුවන විපර්යාස හදුනාගෙන සංඝ භේදය වැලැක්වීම අවශ්‍යය. ප‍්‍රජාතන්ත‍්‍රවාද ගුණාංග පවා විකෘති කරමින් ප‍්‍රචණ්ඩව සහ ධනබලය ඇතිව හැසිරී පසුව ධර්මය ආරක්ෂා කරන බව ප‍්‍රකාශ කිරීම නායකත්වය නොවන බව වටහා ගත යුතුය. අවුරුදු දහස් ගණනක් නොයෙකුත් අභියෝග මැද මහා සංඝරත්නය ද, බෞද්ධ ජනතාව ද, අද පවතින මට්ටමට ගෙනැවිත් තිබේ. තවත් අවුරුදු දහස් ගණනක් අවිච්ඡින්නව පවතින ආකාරයට ධර්මය හා ශාසනය ආරක්ෂා කරගැනිම අප සියලූ දෙනාගේ වගකිමකි. බුදු දහම රාජ්‍ය ආගම බවට ප‍්‍රකාශ කර ඇති සහ දහම සුරකින බවට ව්‍යවස්ථාවෙන් දක්වා ඇති අතර එය වෙනුවෙන් පෙනී සිටීමට රාජ්‍ය පාලනයට  වගකීමක් තිබේ. පවතින ස්වභාවය අවබෝධ කරගෙන අන්තවාදය හැර මැද මාවතට ජනසමාජය කැදවන්නට අවශ්‍ය පියවර ගැනීම සුදුසුය. මෙහිදී ජනමාධ්‍ය වලට පැවරෙන වගකීම ද සුවිශේෂීය. තරගකාරී ස්වභාවය හමුවේ ඇතැම් මාධ්‍ය පවා ක‍්‍රියා කරන්නේ ගැටුම් ඇති කර එයින් අර්බුද මතුකරන ආකාරයටය. එයින් රටක්, සමාජයක් යහපත් කරන්නේ නැත. පැවිදි හා ගිහි වියතුන් දේශපාලනයෙන් තොර සංවාද මණ්ඩපයකට කැඳවීමට මහා සංඝරත්නයට යෝජනා කරනු වැදගත්ය. එය වෙනසක් ඇති කරනු ඇති අතර බේධයෙන් තොර බොදු රටක් හදන්නට ගත හැකි එක වැදගත් පියවරකි.

 

 

 

Advertisements