milinda-prashna

2017/07/05 – ලංකාදීප

නිෂ්පාදන කාර්යය වෙනුවෙන් මනුෂ්‍ය ශ‍්‍රමය වැය කරන තරම අඩු වෙමින් තිබේ. 1980 දී ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා දේ නිපදවනු සඳහා රැකියා විසි පහක් උපයෝගී වූ අතර අද වන විට ඒ වෙනුවෙන් අවශ්‍ය රැුකියා 6.5 ක් පමණක් බව අධ්‍යයන වාර්තා පෙන්වයි. එය තාක්ෂණය හා මෙවලම් සම්බන්ධයෙන් සීග‍්‍ර දියුණුවකි. මෙවැනි පර්වර්තනයක් තුළ නිෂ්පාදන පිරිවැය සෑහෙන ප‍්‍රතිශතයකින් අඩු වන අතර එය අඩු මිලට භාණ්ඩ නිපදවන සහ පාරිභෝගිකයාට වාසි අත්පත්කර දෙන තත්ත්වයකි. එසේ වන විට වැඩ කරන ජනතාවගේ ශ‍්‍රමය සම්බන්ධ ගැටළු ඇතිවෙයි. මන්ද මෙහි දී නිෂ්පාදනය වෙනුවෙන් විශාල ශ‍්‍රමික පිරිසක් අනවශ්‍ය තත්ත්වයට පත්වන අතර කාර්යය වැඩි පුර කරන්නේ මෙවලම්ය.

නිෂ්පාදන කාර්යය තුළ අද පවතින ස්වභාවය එයයි. නමුත් තවත් දශකයක් දෙකක් කල් ගත වන විට ඇතැම් කර්මාන්ත අංශයන් හි මිනිස් ශ‍්‍රමය අඩුම  වන තරමට නිෂ්පාදන ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට ඉඩ තිබේ. පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි අද පවතින නිෂ්පාදන මෙහෙයුම් වලින් පවා සියයට තිස් පහක කොටසක් යන්ත‍්‍ර වලට භාර දෙන්නට හැකියාව තිබේ. වඩාත් ඵලදායී අන්දමට එම ආදේශනය කරන්නේ කෙසේද යන්න  ජාත්‍යන්තර ප‍්‍රජාව ගේ අවධානට යොමු වී ඇත. ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන කාර්යයට ශ‍්‍රමය උපයෝගී වෙන තරම කෙබදුද? ජාත්‍යන්තරයේ දී ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා දේ නිපදවන්නට තක්සේරු කරන දින ගණන කිට්ටුවෙන් කටයුතු කරන්නට හැකියාවක් රටට තිබේද? අනාගතයේ දී පවතින ශ‍්‍රම උපයෝජනය තවදුරටත් අඩු වන නැඹුරුවක දී මෙරට වැඩකරන ජනතාවගේ පැවැත්ම කුමක් විය හැකිද? දියුණු වන රටක් වශයෙන් මෙකී කාරණා ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුය.

වේගයෙන් දියුණු වන රටවල් අද කතා කරන්නේ අලූත් ආයෝජනයෙකින් නිෂ්පාදනයක් කරන අන්දම ගැන නොවේ. ආයෝජනය මගින් නිෂ්පාදන ක්ෂේත‍්‍රයෙහි ඵලදායීතාවයක් ඇති කරන්නේ කෙසේද යන්න ගැනය. කොපමණ පිරිවැයක් ද යන්න තක්සේරුවකින් තොරව දෙයක් නිපදවීමට පලක් නැති බව නූතන නිෂ්පාදන අංශ තේරුම් ගෙන තිබේ. ඉතා ඉහළ නිෂ්පාදන ඵලදායීතාවක් ඇතිව කරන ආයෝජනය විනා ආර්ථිකය දියුණු කරන්නට අනෙකක් වැදගත් නැති බවට නිගමනයකට එළැඹ ඇත.

නිෂ්පාදන ක‍්‍රියාවලිය ජාත්‍යන්තර තලය තුළ වේගයෙන් වෙනස් වෙන බව ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත අංශය අවධානයට ගත යුතුය. එය කෙරෙහි ප‍්‍රමාණවත් සැලකිල්ලක් යොමු කරන්නේ නැත. ආයෝජනය ඵලදායී ආයෝජනය බවට පත් කිරීමෙන් පිරිවැය අඩුවෙයි. තරගකාරීත්වය ඉදිරියේ එය හැර විකල්පයක් නැති බව අවධානයට ගත යුතුය. අද මෙරට කර්මාන්ත හෝ සේවා අංශ වල එක දෙයක් නිපදවන්නට හෝ එක සේවාවක් වෙනුවෙන් හත් අට දෙනෙකු වැඩ කරයි. කෘෂි අංශයේ ද පවතින්නේ එම දුබලතාවයයි. එසේ තිබිය දී රැකියා නැති පිරිසට යැපෙන අවස්ථා සම්පාදනය කළා යැයි ප‍්‍රකාශ කරන්නේ සතුටින්ය. නමුත් ශ‍්‍රමය වෙනුවෙන් වැඩිම මිලක් ගෙවා නිපදවන දේ වෙළඳ පොලේ දී විකුණාගන්නට නොහැකිව ප‍්‍රතික්ෂේප වෙයි. කර්මාන්ත අංශ දුර්වල වෙන අතර නිෂ්පාදන අලෙවි කරගත නොහැකි වෙයි.  ලෝකයේ වෙනත් රටකින් ආනයනය කරන දේ අඩු මිලට මෙරට විකිණෙන විට මෙරට නිෂ්පාදන මිල වැඩි වී ඇත්තේ මෙම ස්වභාවය හෙයින්ය.

මෙරට කර්මාන්ත අංශයෙහි සිදුවිය යුතු පරිවර්තනය ගැන අවධානය යොමු නොකරන ප‍්‍රතිපත්ති සම්පාදකයෝ පිටරටින් ගෙන්වන දේ මිල වැඩි කරන්නට අතිරේක බදු පනවති. අනෙක් පැත්තෙන් මෙරට නිෂ්පාදන ආරක්ෂා කරගන්නට සහන සපයන්නට පෙළඹෙයි. මෙම දෙපැත්තෙන්ම තැලෙන්නේ පාරිභෝගිකයාය. ආනයන බදු වැඩිවන විට පමණක් නොව මෙරට කර්මාන්ත ආරක්ෂා කරගන්නට නීති පනවන විට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නේ සාමාන්‍ය ජනතාව බව දැක්විය යුතුය.

නූතන කර්මාන්ත ප‍්‍රතිපත්ති කෙරෙහි මෙරට අලූත් ආයෝජන අවස්ථාවල දී සැලකිල්ල යොමු කිරීම සුදුසුය. ආයෝජනය යනු හුදෙක් රැකියා සම්පාදනයක් පමණක් නොව කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව පිලිබඳ අංශයක් යනුවෙන් හිතන්නට සූදානම් වීම ඉතාම වැදගත්ය.

Advertisements