milinda-prashna

2017/06/21 – ලංකාදීප

සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ ගැන ජාත්‍යන්තරය ඇති තරම් කතා කර තිබේ. ඔහු ගේ දර්ශනය හා සංකල්ප ගැන නොයෙක් අන්දමින් අවධානය යොමු කර ඇත. අභාවයට පත් නමුත් හෙතෙම අදත් ජීවතුන් අතර යැයි දැනෙන තරමට එය බලවත්ය. ජගත් ප‍්‍රජාව කාලගුණ විපර්යාස හා පරිසර සංරක්ෂණය ගැන කතා කරමින් සිටී. ලෝකයේ පැවැත්ම වෙනුවෙන් පරිසරය ඉතාම වැදගත් බව විද්වතුන් ගේ මතයයි. ලෝක නායකයන් එකතු වී මිහිතලයේ පැවැත්ම වෙනුවෙන් අණ පනත් සම්මත කරගනිමින් සිටින අතර එහි වැඩි අවධානයක් යොමු කර ඇත්තේ වන වගාව කෙරෙහිය.

සිංගප්පූරුවේ ‘‘ප‍්‍රධාන උද්‍යාන පාලකයා’’ ලී ක්වාන් යූ යැයි එරට මැති ඇමැතිවරු පමණක් නොව ජනතාව පවා උපහාසයෙන් මෙන් ඔහු ගැන රහසින් මුමුණමින් සිටියේය. හෙතෙම සිංගප්පූරුවේ අගමැති ධුරය උසුලන කාලයේ දී එහෙම හදුන්වන්නට ධෛර්යයක් නොතිබුණ පිරිස අද එවැනි නිර්වචනයකින් ලී ක්වාන් යූ හදුන්වනවාට ඉතාමත් කැමැති බව පෙනේ. එයට හේතුවක් ඇත. කුඩා සිංගප්පූරුව ගොඩනගන විට එය කොන්ක‍්‍රීට් වනාන්තරයක් වෙන්නට ඉඩ නුදුන් හෙතෙම ගහ කොළ වවා නගරය හරිත උද්‍යානයක් බවට පත් කරන කාර්යයෙහි දී පුද්ගලිකවම පෙරමුණ ගත්තේය. ‘‘තුන්වන ලෝකයෙන් පළමුවන ලෝකයට’’ යනු සිංගප්පූරුව ගොඩනැගූ අන්දම ගැන ලී ක්වාන් යූ ලියන ලද කෘතියකි. ‘‘නිදහසට පසු තුන්වන ලෝකයේ රටක් වශයෙන් අප ගත යුතු මග ගැන කල්පනා කළ අතර පිරිසිදු සහ හරිත රටක් ගොඩනැගීම මම අරමුණු කර ගත්තෙමි’’ යැයි එහි එක තැනෙක හෙතෙම සඳහන් කර තිබේ.

සිංගප්පූරුව දියුණු වන විට විශාල මහල් සංකීර්ණ, අධිවේගී මාර්ග, ගුවන් පාලම් සහ කර්මාන්ත ශාලා බහුලව ඉදිකරන ලද අතර ඒ කාලයේ කැබිනට් මණ්ඩල සාකච්ඡා වල වාර්තා උද්‍යාන නගර වාර්තා වශයෙන් ගෞරවය මුසු කතාබහට ලක්වූ බව අද හෙළිදරව් කරන්නේ එකල ඇමරිකාවේ තානාපතිනිය වශයෙන් සිටි  නිලධාරිනියයි. එරට දේශපාලනඥයන්, පුරවැසියන් සහ ලෝකයේ නොයෙක් තැන් වලින් ලී ක්වාන් යූ ගේ පැල සිටුවීම ගැන එදා උපහාසයෙන් කතා කරන්නට ඇති නමුත් අද එහි අනෙක් පැත්තය. නායකයෙකු වශයෙන් ඔහුගේ පුද්ගලික අනුදැනුම ඇතිව නොයෙක් තැන් වලින් ගෙන්වා සිටුවන ලද පැල අද සිංගප්පූරුවට ආශීර්වාදයක් වී තිබේ. ඔහුම සොයා බලා රාත‍්‍රී කාලයේ දී පවා ගහ කොළ වල සාත්තුව හා අනවශ්‍ය ඉති කපා දමමින් ක‍්‍රියා කළ හෙයින් රටේ ප‍්‍රධාන උද්‍යාන පාලකයා යන පටබැඳි නම පද බැදෙන්නට ඇත. කුඩා භූමියක් නමුත් තුන්සියයකට වැඩි උද්‍යාන හා වනාන්තර හතරක් රට තුළ ඇති කර ස්වභාවිකත්වයට ඉඩ දෙමින් රට සංවර්ධනය කරන ලද බව වර්තමානයේ ලී ක්වාන් යූ ගැන කතාකරන විද්වතුන් උද්දාමයෙන් ප‍්‍රකාශ කරති.

ශ‍්‍රී ලංකාව ස්වභාවික පරිසර පද්ධති වලින් අනූන රටකි. රට යටත් කරගන්නට තැත් කළ කාලයේ අධිරාජ්‍යවාදීහු මෙරට පරිසරය හා දේශගුණය ගැන කතා කර ඇත්තේ මවිතයෙන්ය. නිදහස දිනා දශක හතක් ගත වන විට රට පුරා තැන තැන නැගෙන වේදනාව මතු කරන්නේ අවිධිමත් සංවර්ධනය ගැනය. කදුනාය යන, ඇල දොල පිරී විපත් ඇති කරන සහ වේලි බිඳ වැටෙන බව දක්වන විට ජනතාව ඇලලෙන්නේ භීතියෙන්ය. පරිසර දිනය එන විට පැල සිටුවන නමුත් ඒවා බලාගන්නට කිසිවෙකු නැත. සංවර්ධන යෝජනා ගැන සාකච්ඡුා කරන නමුත් ස්වභාවිකත්වය ආරක්ෂා වන සේ එය කරන්නේ කෙසේදැයි රටට දැක්මක් නැත. මෑත කාලය තුළ සිටුවන ලද පැල සාර්ථකව වැවුණේ නම් අද රට පුරා මහා වනාන්තරයකි.

පරිසරය ගැන නොතැකීමේ විපාක දකින රටට නැවත හරිත සංවර්ධනය ගැන හිතන්නට කාලය එළැඹ තිබේ. ඒ වෙනුවෙන් විශාල නායකත්වයක් අවශ්‍යය. අධිවේගී මාර්ග ඉදිකරන සැලසුම් හදන, මෙගා නගර සැලසුම් කරන සහ විශාල වශයෙන් ඉඩම් ප‍්‍රයෝජනයට ගන්නට කතාකරන අතරවාරයේ කොන්ක‍්‍රීට් වලින් පිරවෙන තැන් වල පිරිිසිදුකම හා හරිත පැහැය ඇතිකරන්නේ කෙසේදැයි විමසා බලන්නට අවශ්‍යය. නීති පනවා, නිලධාරීන් යොදවා පරිසරය ආරක්ෂා කරන්නට සම්පූර්ණ හැකියාවක් නැති බව ද මෙහි දී සඳහන් කරන්නට අවශ්‍යය.

 

Advertisements