milinda-prashna

2017/06/07 – ලංකාදීප

පසුගිය සති දෙක අතිශය කණගාටුදායක සිද්ධි වලින් බහුල කාල වකවානුවකි. විපත් හෙයින් ජනතාවගේ ජීවිත අහිමිවීම, දේපොල විනාශය සහ ගහ කොළ වන සතුන් ඇතුළු පරිසරයට සිදුවූ හානිය මිල කළ නොහැකිය. විපත තමන්ට සිදුවූ එකක් සේ සලකන ලද ජනී ජනයා සිය බත්පත පවා පරිත්‍යාග කළේය. ජනතා සංවිධාන, ජන මාධ්‍ය, රජය සහ ජාත්‍යන්තර ප‍්‍රජාව පරිත්‍යාගශීලී විය. ක්ෂණයකින් සිදුවූ විනාශය මගින් ජනතාව තුළ ඇති කරන ලද කම්පනය බරපතලය. කෙටි කාලයක් තුළ සිද්ධි ගණනාවක් හෙයින් ඒවා දරාගත නොහැකි තරම්ය.

මෑත කාලීන විපත් රටට අනාවරණය කරන ලද සියුම් කාරණයක් තිබේ. එනම් ආධාර එකතු කිරීම හා ඒවා අවශ්‍ය අය වෙත බෙදාදීමේ දී ඇති  වන ගැටළු. නියඟය, ගංවතුර, නාය යාම්. සාලාව සිද්ධිය හා කසල කන්ද වැනි  ඕනෑම අවස්ථාවක හදිසියේ සියල්ල අහිමිවන ජනතාව වෙත ත්‍යාගශීලීවීම වැදගත්ය. මෙරට පවතින සංස්කෘතික බැඳීම් සහ ආගමික පසුබිම අනුව තමන් සතු දෙයින් යමක් අනුන් වෙත දීම වෙනුවෙන් බලකිරීමක් කළ යුතු නැත. රජය හා ජනමාධ්‍ය කරන කෙටි දැනුම් දීම අනුව අති විශාල ප‍්‍රමාණයකින් ආධාර ලැබෙන්නේ ඒ අනුවය.

විපත් හමුවේ එකතුවන ආධාර ප‍්‍රමාණය කොපමණ දැයි ගණන් බැලීමක් කරන්නේ නැත. බෙදා දුන්නේ කා හටදැයි සම්පූර්ණයෙන් නිරීක්ෂණය කළ නොහැකිය. නොබෝදා ඇති වූ ගංවතුර හා නාය යෑමේ සිද්ධි හමුවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අසරණ වූහ. ජනතාව තමන් වෙත ලැබුණ ආධාර සහ ඒවා බෙදාදීම ගැන කතා කළේ අතෘප්තියෙන්ය. ආධාර එකතු කිරීම හා බෙදාහැරීම ගැන විශාල මතවාදයක් රට තුළ පැතිරවීය. එක් එක් ආයතන හා සංවිධාන ප‍්‍රකාශ කළේ තමන් කරන දේ පමණකි. ආයතනයක වගකීම කුමක්ද? භාණ්ඩ බෙදාදී ඒවා තමන් කරන ලද බව කියා ප‍්‍රචාරය කිරීම ද? කරුණු වාර්තා වන ආකාරය අනුව හදිසි විපත් අවස්ථාවක රජය අත්‍යවශ්‍ය මෙහෙයුම් කරන බවක් අනාවරණය නොවේ. රාජ්‍ය නිලධාරීන් කරන කාර්යයක් ඇත්නම් ජනතාව දැනුම්වත් වෙන්නේ සීමාසහිතවය. ආයතන හා සංවිධාන සෑහෙන ප‍්‍රමාණයක් විපතට පත්වන ජනතාවට ඉතා හොඳීන් සහන සම්පාදනය කරන බවට තොරතුරු ප‍්‍රචාරය කරන විට නිලධාරීන් ද වැඩි සැලකිල්ලකින් දුකට පත් ජනතාව වෙත සමීප වෙන්නට තැත් කරන්නේ නැත. එය අනවබෝධය හෙයින් ඇති වෙන තත්ත්වයකි. අවසානයේ දී මහා මාර්ගයේ අවට ඉන්නා ජනතාව වෙත භාණ්ඩ බෙදා දී සහන සම්පාදනය වන අතර ගංවතුරෙන් හෝ නාය යාම් වලින් කොටු වූ ඈත දුෂ්කර ප‍්‍රදේශ වල ඉන්නා ජනතාව ගැන වැඩිපුර සොයා බලන්නේ නැත. එය විපතට පත් වූ අය නැවත වතාවක් අසරණ කිරීමක් බව සඳහන් කළ යුතුය. විපතට පත් අය සිතන්නේ තමන්ට නොලැබී අනෙක් අයට ලැබුණ බවය. ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ආධාර දේශපාලනඥයන් එකතු කරගෙන ඒවා ඡන්ද ව්‍යාපාර වලදී යොදා ගන්නවා ඇතැයි සමහරු සිතති. ඒවැනි අදහස් සාධාරණ ද? අවසානයේ දී සිදුවන්නේ පාලන ව්‍යුහය ගැන වෛරයක් ඇති කරන තත්ත්වයකි.

හදිසි විපත් සිදුවෙයි. ඒවා වැලැක්විය නොහැකි නමුත් පාලනය කළ හැකිය. නිසි පරිදි කළමණාකරනයෙන් අසරණ වන ජනතාව වෙත ඉක්මනින් සහන සැලසිය හැකිය. තොරතුරු තාක්ෂණ යුගයේ දී දත්ත එකතු කරගැනීමට හා ඒවා විශ්ලේෂණයට ඇතිකරම් මෙවලම් තිබේ. ඒවායෙන් ප‍්‍රයෝජන ගැනීම වැදගත්ය. ආධාර අවශ්‍ය අය සහ අවශ්‍ය කරන තැන් ගැන වඩා විමර්ෂණාත්මකව සොයා බලා ඉක්මනින් පියවර ගත හැකිය. ඒවා කරන්නේ කෙසේදැයි වෘත්තීය මට්ටමින් ආපදා සහන සම්පාදනය කරන අංශ සමග සාකච්ඡුා කිරීම සුදුසුය.

 

Advertisements