milinda-prashna

2017/05 /24 – ලංකාදීප

හිතන්නටත් නිදහසක් අවශ්‍යය. සිතිවිලි සම්බන්ධයෙන් දර්ශනයක් තිබීම උසස් මනුෂ්‍ය ලක්ෂණයකි. රාමුවක් තුළ සිතන පැවැත්ම පැරණි එකකි. සියවස් ගණනකට කලින් පැවැති පාලන ක‍්‍රමයේ ලක්ෂණයක් වූයේ  ජනතාවගේ සිතිවිලි පාලනය කිරීමය. බලවත් ඒකාධිපති නායකයෝ වැසියන්ට හිතන්නට අවස්ථාව දුන්නේ සීමා සහිතවය. නිදහස් සිතිවිලි අනුව ක‍්‍රියාකරන වැසියෝ, තමන්ට එරෙහිව නැගී තම පාලනයට අවහිර කරනු ඇතැයි කල්පනා කළ එකල පාලකයෝ ජනතාවට හිතන්නට ඉඩ දුන්නේ නැත. ලෝකය දියුණු වන විට පාලන ක‍්‍රම වෙනස් විය. දාර්ශණිකයෝ අලූත් අදහසක් ඉදිරිපත් කළහ. රාමුවෙන් පිට සිතන එහෙම නැත්නම් ‘‘අවුට් ඔෆ් ද බොක්ස්’’ ක‍්‍රමවේදය එයින් එකකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු වන විට නිර්මාණාත්මකව සිතන අවකාශය පුළුල් විය. පවතින රාමුවට එපිටින් හිතන හෙයින් අලූත් දේ බිහිවන බව මනුෂ්‍ය සංහතිකය තේරුම් ගත්තේය.

වර්තමාන ජන සමාජය එය තවත් පියවරක් ඉදිරියට තබා තිබේ. අද වන විට අලූත් අර්ථයක් පැන නැගී ඇත. එයට අනුව සිතිවිලි වලට රාමුවක් නැත. රාමුවෙන් එපිට නොව රාමුවක් නැති තරමට සිතිවිලි විසිරිවිය හැකි  සමාජය විශාල ඉදිරි දැක්මක් සහිත බව පොදු පිලිගැනීමයි. රාමුවක් නැතිව හිතන්නේ කොහොමද? සිතන, පතන, ජීවත්වන පමණක් නොව තීරණ ගැනීම පවා පාලකයන්ට පවරා දී ඇති රටවල් වල පුරවැසියන්ට රාමුවක් නැති සිතිවිලි ගැන වෙනස දැනෙන්නේ නැත. අලූත් දේ හිතන පවතින රාමුව නොසලකා ක‍්‍රියා කරන අය නිතර ලෝකයේ පැවැත්ම වෙනස් කර තිබේ. රාමුවක් රහිත නිදහස් සිතිවිලි වැදගත් වන්නේ එහෙයින්ය.

සමාජය සිතන අන්දමට පාලකයෙකුට විශාල පිරිවරක් අවශ්‍යය. පරිවාර පිරිස අඩු නම් පාලකයා ගේ බලය එපමණ නැති බව සිතන්නට පටන් ගනී. ගමන් කරන වාහනය, හැසිරෙන අන්දම, ඇදුම පැළදුම පවා අනෙක් අයට සිතන්නට මාතෘකා සපයයි. නිතර විදේශගත වන ලෝකය පුරා ගමන් කරන විට බලය හා තත්ත්වය ගැන අනෙක් පාර්ශවය සිතන බව සාම්ප‍්‍රදායික රාමුවයි.

නමුත් අද තත්ත්වය වෙනස්ය. සමාජය අලූතින් සිතන්නේ නැත්තේ මන්ද? පාලනය නඩත්තු කරන්නේ ජනතා බදු වලින්ය. පොදු ජනතාව පිරිවර, ගමන බිමන හෝ ලෝකය පුරා සංචාර වලට වියදම් කරන්නේ මහජන මුදල්ය. තාක්ෂණය දියුණු මෙකල රාමුවෙන් පිට එහෙමත් නැත්නම් රාමුවක් නැතිව සිතන්නේ කෙසේද?

රාමුවක් නැතිව හිතනවානම් ශ‍්‍රී ලංකාවේ ස්වභාවය වෙනස් කරන්නට බැරිකමක් නැත. ආණ්ඩුව තාක්ෂණික පැවැත්මකට යොමු කළ හැකිය. රාජ්‍ය තාන්ත‍්‍රික සංචාර වෙනුවට ඇමැතිවරරන්ට වෙනත් රටක ඇමැතිවරයෙකුට දුරකථන කතා කර ද්වී පාර්ශවික තොරතරු කතා කරගත හැකිය. අවශ්‍යනම් එය සජීවී කතාබහක් බවට පත්කරගන්නට තරමට තාක්ෂණය තිබේ. රටවල් දෙක තුනක් සම්බන්ධ කරගෙන දුරකථන සංවාදයක් පවත්වන්නට ද පුළුවන. නමුත් ඒවා ප‍්‍රයෝජනයට නොගෙන විශාල කාලය සහ ධනය වියදම් කරමින් විදේශ සංචාරවලය. නිලධාරීන් සමූහයක් සමග විදේශ ගත වන විට ඒවාට වියදම කොතැනින්ද? රට ගොඩනගන්නට බලය ගන්නා ඇමැතිවරු බලය ඉල්ලිය යුතු සම්ප‍්‍රදායික රාමුව ආරක්ෂා කරන්නට නොවේ. රාමුවට එපිටින් හිතන්නටය. වැඩ කරන්නටය. නිල හමුවීම්, නිල නිවේදන ද්වී පර්ශවික ගිවිසුම් යනාදිය කල්ගිය ඒවාය. ලෝකය අලූත් හැඩතලයකට මාරු වෙමින් තිබේ. නිල වාහනය, විදේශ සංචාර සහ අති විශාල කාර්යාල වැනි දේ පැත්තකට දමා රාමුවක් නැති යුගයට ඇතුළු වෙන්නට ප‍්‍රයත්නයක් දැරීම අවශ්‍යය. එය වෙනුවෙන් සිතන නායකත්ව රටට ඉතාම වැදගත්ය.

Advertisements