milinda-prashna

2017/05/10 – ලංකාදීප

සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලැබුවේ අද වැනි දිනකය. ගිහි ගෙයින් නික්ම, සියළු කෙලෙස් මැඩ බුද්ධත්වය ලබන්නේ අද වැනි පොහොය දිනකය. නැවත ඉපදීමක් නැති අමා මහ නිවන් අවබෝධ කරගත් ගෞතම බුදු රජාණන් වහන්සේ පිරිනිවන්පෑවේ ද අද වැනි වෙසක් දිනයකය. ලොව පුරා බෞද්ධ ජනතාව මෙම අවස්ථා තුන සනිටුහන් කරන දිනයෙහි දැහැමි ඇවැතුම් පැවැතුම් සහිතව හැසිරෙති. බුද්ධ දේශනාව අනුව ක‍්‍රියා කරති. ලෞකික දේ වෙනුවෙන් ඇති ඇල්ම අඩු කර මතු සුගතිය අපේක්ෂා කරමින් ධර්මයෙහි හැසිරෙන්නට උත්සාහ කරති.

බුදු රජාණන්වහන්සේ මැද මාවත දැක්වූහ, සදාකාලික ජීවන දර්ශනය පෙන්වා දුන් අතර ජන ජීවිතය සැනසිලිදායක තැනක් කරගන්නේ කෙසේදැයි දෙසා වදාලහ. මෙවර වෙසක් උත්සවය පවත්වන්නේ වසර 2561 ක ඉතිහාසය සනිටුහන් කරමින් බව සිහිපත් කළ යුතුය. බුද්ධ දේශනාව ත‍්‍රිපිටකය වශයෙන් මහා ස්ථවිර පරම්පරාව කට පාඩමින් පවත්වාගෙන පැමිණ තිබේ. එය ලේඛනයකට සකස්වන්නෙ ශ‍්‍රී ලංකාවේ පැවැති අධික දුර්භික්ෂ කාලයේ දී එය තව දුරටත් මතකයෙන් පැවත්වාගෙන යන්නට නොහැකි තත්ත්වයක් හෙයින් බව සඳහන්ය. සැරියුත් සහ මුගලන්  යන අග‍්‍ර ශ‍්‍රාවක මහ රහතන් වහන්සේලාගේ සිට ශ‍්‍රී සද්ධර්මය ලේඛන ගතවන තෙක් නොයෙක් වෙනස්කම් ශෛලීන් හා අනුකරණ වලට ලක්වන්නට ඇතැයි සිතිය හැකිය. 1981 සිට දස වසරක් තිස්සේ ධර්මයෙහි ලේඛන පිරික්සා ඒවා නිවරුදි කරන්නට මෙරට ධර්මධර භික්ෂූන් සමග එකතු වූ ප‍්‍රාඥයන් කටයුතු කර ඇත. අද පවතින බුද්ධ ධර්මය සුපිරිසිදුය. එහි දර්ශනය පැහැදිලිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වසරේ දී ජාත්‍යන්තර වෙසක් උත්සවය පවත්වන්නේ ශ‍්‍රී ලංකාවේ දී ය. ධර්මය නියමාකාරයෙන් පවතින සහ ජාත්‍යන්තර සමාජය ධර්මෝත්පාදනය වෙනුවෙන් මෙරට එකතු වී ඇති අවස්ථාවක, බුදු දහම එහි පැවැත්ම කෙරෙහි බොදුනුවන් වශයෙන් අප සියළු දෙනා දක්වන ආකල්පය දෙස අවබෝධාත්මක ආකල්පයක නිරතවීම ඉතාමත් වැදගත්ය.

ධර්මය නොකිලිටිය. එය තර්කාන්විතය. බුදු රජාණන් වහන්සේ ම දේශනා කරන ලද පරිදි රන්කරුවෙකු නියම රත්රන් දැයි සොයාගන්නට රන් කැබැල්ලක් කපාකොටා එයින් ද නතර නොවී පුළුස්සා  බලා තහවුරු කරගන්නා මෙන් ධර්ම දේශනාව ද සත්‍යයක් දැයි විමසා බලන්නට බාධාවක් නැත. නමුත් මෙම ධර්මය පවතින පන්සල වෙනස් තැනක් බවට පත්ව තිබේ. සංඝරත්නය අතර පරස්පරතා ඇත. උපාසක උපාසිකාවෝ ද බෙදී වෙන්වී ඇත. බුදු දහම බෙදා සත්‍ය පතුරවනු වෙනුවට ධර්මය ඇතැයි එය බදාගන්නා තැන් අද රට පුරා බහුලය. තමන් සතුව හැර අන් බෞද්ධ සංඝයාවහන්සේ ගේ සිට උපාසක උපාසිකාව දක්වා ඇත්තේ වෙනස් බුද්ධාගමක් බව කියන්නට නොපැකිලෙන බව පෙනෙන්නට තිබේ. එය පරතෙරට නංවා ඇත්තේ ජනමාධ්‍යයයි. ධර්මය, එය සමාජගත කිරීම හා ප‍්‍රචාරණය වෙනුවෙන් අති විශාල තරගයක් පවතින බව සඳහන් කළ යුතුය. මෙයින් රටට හා සමාජයට අත්පත්ව ඇති සුගතිය කුමක්ද? බුදු රජාණන් වහන්සේ අද වැඩ සිටියානම් අනුග‍්‍රාහකත්වය ගන්නට දරන ප‍්‍රයත්නය, වෙසක් කලාප හා වෙනත් විසූක දස්සන දැක සංවේගයට පත්වනු නොඅනුමානය.

බුදු දහම එයින් අනු දැනවදාරන සරල ජීවන දර්ශනය අනුගමනය කරන්නට නොහැකි තැන බුදු සරණ නැත. දහම් සරණ ලැබෙන්නේ නැති බව නිසැකය. නිකාය බේධයෙන් තොරව ධර්මය අද පවතින ස්වභාවය දෙස බලන්නට මහා සංඝ රත්නයට ධෛර්යයක් තිබිය යුතුය. අද පවතින්නේ එක්සත් ජාතීන් ජාත්‍යන්තර වෙසක් දිනය හා එය නිවාඩුවක් බවට පත්ව ඇති කාලවකවානුවකි. එක්සත් ජාතීන් එකතු වී බුදුන් වැඩි පින් බිම ශ‍්‍රී ලංකාවේ දී දහ හතරවැනි ජාත්‍යන්තර වෙසක් දිනය පවත්වයි. තවත් ශත වර්ෂාධික කාලයක් දහම පවතින්නට බොදුනුවන් වශයෙන් අප ගත යුතු මග කමක්දැයි සාකච්ඡා කරන්නට පියවර ගත යුතුව තිබේ.

Advertisements