milinda-prashna

2017/02/08 – ලංකාදීප

නිදුක් නිරෝගී දරු සම්පතක් ප‍්‍රාර්ථනා කළ යුගය අවසානයක් කරා ළඟා වන බව අනාවරණය වෙයි. තෝරාගත් ගති ලක්ෂණ සහිත ප‍්‍රවේනිගත රෝග නොවැළදෙන බවට සහතිකය සහිත දරු උපතකට පසුබිම සකස් වෙමින් තිබේ. නවීන සොයා ගැනීම් අනුව වෛද්‍යවරයා හමුවට යන දෙමව්පියන්ට තමන් කැමැති දරුවා ඉල්ලන්නට හැකියාව ලැබෙන්නට බැරි නැත. විද්‍යාව හා තාක්ෂණය දියණුව සමග සිදුවන මෙම වෙනස ගැන විශාල ආන්දෝලනයක් පවතී.

ලොව පළමු නල දරු උපත සිදුවී වසර හතලිහක් සම්පූර්ණ වී තිබේ. විද්‍යාගාරයක කෘතීමව සංසේචනය කරන ලද කලලයක් ගැබක තැන්පත් කර නල දරුවෙකු බිහි කිරීම අද වන විට සාමාන්‍ය දෙයකි. එයින් නොනැවතී හොඳ දරු උපතක්  වෙනුවෙන් කර ඇති පර්යේෂණ වලින් හෙළිකරන කරුණු විස්මිතය. ජාන පරීක්ෂා කර තෝරාගත් ජාන වලින් පමණක් ජීවයක් බිහි කරන්නට විද්‍යාව සමත්ව තිබේ. අලූත්ම වෛද්‍ය විද්‍යා වාර්තා කියන අන්දමට ඉතාම සූක්ෂම පරීක්ෂණ වල ප‍්‍රතිඵල සාර්ථකය. ජාන වෙනස් කර තමන්ට උවමනා ලක්ෂණ පමණක් සහිත දරුවන් බිහි කරගත හැකිය. හොඳට ඉගෙන ගන්නා දරුවකු තෝරා ගැනීමට පුළුවන්කම ලැබී තිබේ. තැලමීසියාව, දියවැඩියාව සහ සමහර පිලිකා ආබාධ ඇතුළු රෝග දෙසිය පනහක් ගැන කලල අවධියේ දී ම පරීක්ෂා කර බලා පාලනය කරන්නට හැකි බව ප‍්‍රකාශ වෙයි. නමුත් මෙම තාක්ෂණයට ඉඩ දෙන්නට ජාත්‍යන්තරය තවමත් සූදානම් නැත. රටවල් කිහිපයක් පමණක් නූතන යුගයේ දරුවන් බිහි කරන්නට දැනට අවසර දී තිබේ. සංස්කෘතික අනන්‍යතාව සහ ලෝක උරුමය ගැන ගැඹුරින් අවධානය යොමු කරන ජගත් නායකයන් අතරින් යම් පිරිසක් තවමත් ජාන වෙන්කර තෝරාගත් ලක්ෂණ සහිත දරු උපත් වලට ඉඩ දෙන්නට සූදානම් නැත.

වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් මානව පැවැත්ම කෙරෙහි තීරණාත්මකය. ඉතිහාසයේ සිට මේ දක්වා අනාවරණය කරගෙන ඇති අලූත් දේ හෙයින් දරු උපත නිරෝගී පමණක් නොව ලෙඩ රෝග පාලනය කරගෙන උපරිම ආයු කාලයක් ජීවත්වෙන්නට ද අවස්ථාව සම්පාදනය කර තිබේ. දරුණු රෝග කලින් හදුනාගෙන හොඳම දරුවන් බිහි කිරීම වරදක් වෙන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරන පිරිසක් ද සිටී. සෞඛ්‍ය පිරිවැය සියයට විස්සකින් පමණ අඩු කරන්නට මෙකී නවීන තාක්ෂණයට හැකිවෙන අතර අනාගතයේ දී උපදින දරුවන් ගේ ලක්ෂණ කල් තියා වෙනස් කරගත හැකිවන විට දරුණු රෝග තුරන් කර හැකි වීම කොපමණ යහපත් දැයි ඔවුහු විමසති. මානව සංහතියේ පැවැත්මට හොඳම ජාන සංයුතියකින් යුතු තත්ත්වයකට පත් කරන්නට හැකියාව තිබේ නම් එය නතර කළ යුතු මන්ද යන කාරණය බරපතල විවාදයකට ලක් ව තිබේ.

බි‍්‍රතාන්‍ය, චීනය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් දැනට දරු උපත ස්වභාවික බව වෙනුවට තමන්ට කැමැති දරුවන් නිර්මාණය කරගැනීමේ තාක්ෂණයට හුරු වන බව පෙනේ. ඒවාද බහුලව නොවේ. නමුත් ඉදිරි අඩ සියවස තුළ ලෝකය පුරා තාක්ෂණික දරු උපත අනිවාර්ය දෙයක් විය හැකි බව පැහැදිලිය.

ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ පවා ස්වභාවිකත්වය වෙනස් කර කෘතීම පැවැත්මකට අනුගතවීම ගැන විරෝධතා තිබේ.  මෙරට ජන ජීවිතය හා ඇවැතුම් පැවැතුම් වෙනස්වීම ගැන අසතුට මතුවන අවස්ථා එමටය. වෛද්‍ය විද්‍යාවේ නවීන තාක්ෂණික පැති රටට ඇතුළු කරගන්නේ කෙසේ ද යන්න ගැන සංවාදයක් අවශ්‍යය. සම්ප‍්‍රදායිකත්වය සහ සංස්කෘතික අනන්‍යතා ආරක්ෂා කර ගැනීම වැදගත්වන අතර අනෙක් පැත්තෙන් අලූත් දේ රටට අනන්‍ය කරගැනීමේ හැනියාව ගැන මෙම සංවාදයේ දී අවධානය යොමු කළ යුතුය.

 

Advertisements