milinda-prashna

2016/02/01 – ලංකාදීප

වානිජ වැවිලි ආර්ථිකය රටට හඳුන්වා දෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ දීය. අවුරුදු දෙසීයක පමණ ඉතිහාසයක් තිබේ. එයට කලින් පුරාණ රාජධානි පැවැති කාලයේ දී පෙරදිග කලාපයෙන් මෙරට පැමිණි වෙළඳුන් පුවක්, කුරුදු, ගම්මිරිස් හා සුළු අපනයන භෝග එකතු කරගෙන ඇත. වර්තමානයේ ද වැවිලි ක්ෂේත‍්‍රය ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමාජ ව්‍යුහයේ වැදගත් කොටසකි. රබර් වගාව මෙකී වැවිලි කර්මාන්තය තුළ පවතින නියෝජනය කැපී පෙනෙන එකකි. එහි පවතින තත්ත්වය සහ අනාගතය කෙබදුද?

කෝපි වගාවට හානි කරන ලද රෝගයක් පැතිරෙන අවස්ථාවේ දී විකල්ප වගාවක් ලෙස තේ වගා කරනලද අතර පසුව රබර් වගාව හඳුන්වා දී ඇති බව සඳහන්ය. දෙවන ලෝක යුද්ධය බලපවත්වන කාලයේ රබර් වලට ඉතාම හොඳ ඉල්ලූමක් තිබී ඇත. මිත‍්‍ර පාක්ෂික රටක් වූ ලංකාව, යුද බිමේ සැපයුම් වෙනුවෙන් උවමනා කළ අමුද්‍රව්‍යයක් සේ සලකා වැඩිපුර රබර් නිපදවා අපනයනය කර ඇත. හොඳ ආදායමක්ද ලැබුණ හෙයින් උඩු සහ යටි වශයෙන් රබර් ගස් වල කැපුම් දෙකක් යොදා රබර් කිරි යහමින් සකස් කරගෙන ඇති බව අනාවරණය වන අතර එහි ප‍්‍රතිඵලය වූයේ වගාවෙහි ආයු කාලය කෙටි එකක් වීමයි. යුද්ධය අවසන් වන විට රබර් නිෂ්පාදනය අඩු වූ අතර ඉල්ලූම ද පහල ගියේය. රටට විනිමය හිඟ විය. පශ්චාත් යුද ආර්ථික අර්බුදය වලකාගන්නට චීන ශ‍්‍රී ලංකා රබර් සහල් ගිවිසුම ප‍්‍රයෝජනවත් වූ බව ඉතිහාසය පෙන්වා දෙයි.

ලෝක වෙළඳ පොලේ කලින් කල ඇතිවන ඉල්ලූම අනුව ස්වභාවික රබර් වලට ලැබෙන මිල වෙනස් වෙයි. රබර් ශීට් වල මිල පහත වැටෙන විට රබර් ගලවා තේ හෝ පොල් වගා කරන මෙරට වගාකරුවෝ මෑතක සිට කටුපොල් වගා කරන්නට ද පෙළැඹී සිටිති. රාජ්‍ය හා පුද්ගලික වතු සමාගම් ද හැසිරෙන්නේ එයට අනුරූපවය. අද වන විට රබර් වලට හොඳ ඉල්ලූමක් තිබේ. තවමත් යම් කොටසක් අමුද්‍රව්‍යයක් වශයෙන් අපනයනය කරයි. දෙස් විදෙස් කර්මාන්තකරුවෝ මෙරට රබර් කිරි උපයෝගී කරගෙන නොයෙකුත් නිෂ්පාදන කරති. රබර් අත්වැසුම්, රථ වාහනවල කොටස් වල සිට උසස්ම ප‍්‍රමිතියේ ටයර් නිපදවන බව නිරීක්ෂණය කළ හැකිය. ස්වභාවික රබර් අමුද්‍රව්‍යයක් සේ අපනයනය කරනවාට වඩා වටිනාකම එකතු කර නව නිෂ්පාදනයක් සේ විකිණීමෙන් රටට වැඩිම විනිමය ප‍්‍රමාණයක් ලැබෙන අතර රැකියා අවස්ථා, රටට බදු ආදායම සහ විශේෂයෙන් නවෝත්පාදනයක් සිදුවෙයි. මෙරට ක‍්‍රියාත්මක කර්මාන්ත ශාලා පෙන්වා දෙන අන්දමට නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ලෝකයේ හොඳම රළු ටයර් සහ අත්වැසුම් යනාදිය නිපදවමින් සිටී. අවශ්‍ය තරමට රබර් කිරි නොසැපයෙන හෙයින් නිෂ්පාදන අවශ්‍යතාව අඛණ්ඩව පවත්වාගනු සඳහා පිටරටින් රබර් ආනයනය කරන බව මෙම කම්හල් වලින් ලැබෙන තොරතුරු අනාවරණය කරයි.

කම්හල් හිමියන් ගේ අදහස කමක්ද? වෙනත් රටවල රබර් වගාව ආශි‍්‍රත ශ‍්‍රමිකයෝ පාන්දර කපන්නට පටන් ගන්නා අතර එහි වැය කරන කාලය අඩු හෙයින් අමතර අතුරු රැකියාවකට ද කාලය ඉතිරි කරගනී. වැහි කබා ඇඳගෙන කාලගුණය ප‍්‍රශ්නයක් කරගන්නේ නැතිව වෙහෙසෙයි. රබර් ගස් වලට ද වැහි ගාඞ් පාවිච්චි කරයි. මෙරට රබර් කිරි කපන්නට ශ‍්‍රමිකයන් නැත. පාන්දරින් වැඩ කරන්නට කැමැති නැත. සුළු වැස්සක් වැටුණොත් කිරි කැපීම අත්හරියි. එහෙයින් වගාකරුවන් රබර් වගාව අත්හරින තැනට පත්ව ඇති අතර ආදායමක් නැති රබර් ඉඩම් වෙනත් වගා වලට හෝ කැබලිකර විකුණන්නට සූදානම්ය. හෙයින් සිදුවන හානිය තක්සේරු කරන්නට අවශ්‍යය.

රබර් කිරි උපයෝගී කරගෙන නිෂ්පාදනයෙහි නිරත කර්මාන්තකරුවන්ට අනුව මෙම ස්වභාවය ඉදිරියේ ද පැවැතුනහොත් අනාගතයේ දී කර්මාන්ත පවත්වාගෙන යා නොහැකිය. ආනයනික රබර් වලින් නිපදවා මිල තරගකාරී අපනයනයක් කළ නොහැකිය. එය විශාල ගැටළු ඇති කරන අතර පවතින ස්වභාවය සමාලෝචනය කර විසදුම් යෝජනා කිරීම වැදගත්ය.

Advertisements