milinda-prashna

2017/01/25 – ලංකාදීප

ජල්ලිකට්ටු යන වචනය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. එය කුමක්දැයි නොදැන සිටි ජන කොටසක් එහි හොඳ නරක සාකච්ඡුා කරන්නට පෙළැඹී ඇත. වරින් වර ඇති කරන ආන්දෝලනාත්මක සිද්ධි ජන සමාජ උණුසුම් කරයි. අනන්‍යතාවය තහවුරු කරගනු උදෙසා පැන නැගෙන බව පෙනේ. කුඩා ජන කණ්ඩායම් තමන්ගේ අනන්‍ය සිරිත් විරිත් සංස්කෘතික ලක්ෂණ යටපත් වනු දකින්නට කැමැති නැත. සමාජය දියුණු වී නොයෙක් පැති වලට පරිවර්තනය වන විට සමහර අංග පිටුදැකිය යුතු බවට පොදු මතයක් නැගෙන නමුත් ඒවා ආරක්ෂා කරගත යුතු තමන්ගේ දේවල් යැයි හිතන ජන කොටස එයට එරෙහිව නැගී සිටියි. ගැටළු ඇති වෙන්නේ එවිටය.

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ජනයා ජල්ලිකට්ටු තම අනන්‍ය ක‍්‍රිඩාවක් සේ සලකයි. කෝප ගන්වන ලද ගවයෙකු හඹා ගොස් අල්ලාගෙන පාලනය කිරීමට ජවාධික තරුණන් කරන උත්සාහය නරඹන්නන්ට ත‍්‍රාසය සහ විස්මය ඇතිකරයි. එහි නියැලි අය දිරිමත් කරනු සඳහා ගවයාගේ අං වල මුදල් නෝට්ටු ගැට ගසයි. ස්පාඤ්ඤයේ ගොන් පොර ක‍්‍රිඩාවට සමාන ලක්ෂණ ඇති මෙම ක‍්‍රීඩාවෙන් අහිංසක සත්ත්වයන්ට පීඩාවක් වන බව තවත් ජන කොටසක් දරණ මතයයි.

සත්ත්ව හිංසාව නරක බව කියමින් අධිකරණයට ගිය තමිල්නාඩුවේ පිරිසක් ජල්ලිකට්ටු තහනම් කරන අධිකරණ තීන්දුවක් ගත්තේය. එය වහා ඉවත්කර තම කී‍්‍රඩාව කරගෙන යනන්ට ඉඩ හරින සේ ඉල්ලා තමිල්නාඩු වැසියෝ විරෝධතා පළ කරන්නට පටන් ගත්හ. එය පැති දෙකකින් අවධානයට ගැණුන  සිද්ධියක් විය. එක කොටසක් කියා සිටියේ එය අයිතියක් බවය. සත්ත්ව හිංසනයට ඉඩ දිය යුතුු නැති  බව තවත් කොටසකගේ අවධාරණය විය. එය ජාත්‍යන්තර අවධානයට ගැණෙන්නේ ඒ අවුවය. ශ‍්‍රී ලංකාවේ දෙමල ජනතාව අතරින් කොටසක්  තමිල්නාඩුවේ ජල්ලිකට්ටු තහනම ඉවත් කළ යුතු හා  එය තම අයිතිවාසිකමක් බව කියමින් පාරට බැස්සේය. තවත් පිරිසක් පෙනී සිටියේ සත්ත්ව හිංසනයට විරුද්ධවය.

මෙවැනි ජාතික, සංස්කෘතික අනන්‍යතා ලෝකයේ නොයෙක් තැන පවතී. ඉස්ලාම් ආගම අනුව බිලි පූජාවක් සිදුවෙයි. කුරුබානි යනු එයයි. ආගමික කටයුත්තක්  අනුව කෙරෙන එයට විරුද්ධ මත තිබේ. යෂුකුනි ජපානයේ සමරුම් කුටියකි. ජපාන අධිරාජ්‍යයාට සේවය කර මිය ගිය සෙබළුන් සිහිකරනු සඳහා එය පවත්වාගෙන යයි. ජපන් අධිරාජ්‍යයේ මෙහෙයුම් වලට ගොදුරු වූ රටවල් මෙම යෂුකුනි කුටියට පිළිගැනීමක් ඇති වනු දකින්නට කැමැති නැත. ලංකාවේ ඉතිහාසය සොයන මතධාරීහු සිංහල ජාතික කොඩියක් ගැන අදහස් දක්වනු පෙනේ. එයට අනුව අධිරාජ්‍යවාදීන්ට යටත් වෙන්නට කලින්  ලංකාවේ රජ දවස භාවිතා කළ කොඩිය ගැන මතයක් සමාජයේ කොටසකට ඇත. රාවණ සිද්ධිය මතු කර එහි උරුමය ආරක්ෂා කරගන්නට සූදානම්  පිරිසක් ද වෙයි.  රාවණ අතීතය අනුව එහි උරුමය කතා කරන රට තුළ ජීවත් වෙන දෙමල පිරිස රාම සහ හනුමන්තා වෙනුවෙන් පෙනී සිටින බව ද නිරීක්ෂණය කළ හැකිය.

පවතිනස්වභාවය අනුව අනන්‍යතා සහිත කණ්ඩායම් විශාල බලවේග බවට පත්ව තිබේ. ජල්ලිකට්ටු තහනම ඉවත්කරන තැනට තීරණගන්නට ඉන්දියාවට සිදුවී තිබේ. නවීන අදහස් ඇති අය එය සත්ත්ව හිංසනය බව කියන නමුත් එක්තරා ජන කොටසක් අනන්‍යතාවය දක්වන්නේ එයින්ය. ලෝකයේ සෑම කලාපයකම, උප සංස්කෘතියකම අනන්‍ය දේ පවතී.  මේවා බලහත්කාරයෙන් නතර කරන්නට හැකියාවක් නැත. නීතිය ඉදිරියට පැමිණ විය හැකි නමුත් එයින් ද අනර්ථයක් සිදුවෙයි. කිසිම පුද්ගලයෙකුගේ අනන්‍යතාවයට අගෞව නොවන පරිදි, අන්‍යයන්ට රිදෙන්නේ නැති සමාජ ව්‍යුහයක් සකස් කරන්නේ කෙසේද යන්න ගැඹුරින් සාකච්ඡා කළ යුතුව ඇත.

 

Advertisements