milinda-prashna

2017/01/11 – ලංකාදීප

මහ පොලව සීමිතය. වටිනා සම්පතක් බවට පත්ව ඇත්තේ එහෙයින්ය. කාලයකට කලින් ජනී ජනයා තම වත්පොහොසත්කම මනින්නේ අයිිති ඉඩම් ප‍්‍රමාණය අනුවය. ධනය  සහ බලය ඇති පිරිස ඉඩම තමන්ගේ භාරයට ගත්හ. ඉඩම් නැති දුප්පතුන් මෙම ඉඩම් හිමි ධනවතුන් යටතේ සේවය කර ජීවත් වූහ. සමාජ ක‍්‍රමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු වන විට ඉඩමක අයිතිය සාධාරණය ලැබෙන්නේ කෙසේදැයි තීරණ වලට එළැඹී තිබේ. ලෝකයේ සමහර රටවල වැසියන්ට ඉඩම් අයිතිය නැත. ආණ්ඩු කරන්නේ ජනතාවට ජීවත්වීමට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් සැපයීමයි. නමුත් ලෝකයේ බොහෝ රටවල් ඉඩමක අයිතිය තීරණය කරන්නේ වෙළඳ පොළයි. ඉල්ලූම හා සැපයුම අනුව ඉඩම යනු විශාල වටිනාකමක් ඇති දෙයක් බවට පත්වෙයි.

ලෝක ජනගහනය වැඩි වන සහ ඉඩමක සීමිත බව දැනෙන්ට පටන්ගනී. මෙම  පසුබිම තුළ ඉඩමේ වටිනාකම නොසිතනා සේ වැඩි විය හැකි යැයි මතයක් තිබුණේ කලකට කලින්ය. අද වන විට එය එසේ නොවන බව පෙනේ. ඉඩමක අයිතිය වෙනුවට එය ඵලදායී සේ පරිහරණය ගැනීම ඉහළම අවධානයට ලක්ව තිබේ.

ශ‍්‍රී ලංකාව කුඩා රටකි. ඉඩම් ප‍්‍රමාණය සීමිතය. වනාන්තර, ජලාශ, පොදු පහසුකම් සහ අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් වෙන් කරන විට රට වැසියන්ට පරිහරණයට ඇති ඉඩම් ප‍්‍රමාණය ඉතාම අඩුය. පර්යේෂණ වාර්තා පෙන්වන්නේ මෙරට ඉඩම් වලින් ප‍්‍රතිශතයක් වශයෙන් සියයට අසූවකට වඩා රජයට අයිති බවය. පුරවැසියන් වෙනුවෙන් ඉතිරිව ඇත්තේ සියයට විස්සකට අඩු ප‍්‍රමාණයකි. රටේ වපරිසය කොටස් පහකට බෙදා වෙන්කළහොත් එයින් හතරක් අයිතිකරගෙන ඉන්නා ආණ්ඩුව එය මනා සේ පරිහරණය කරන්නේ ද යන්න විමසා බැලීම වැදගත්ය.

කාලගුණය වේගයෙන් වෙනස්වන බව අද පවතින ස්වභාවයයි. එය ආහාර නිෂ්පාදනයට අවහිර කර තිබේ. පානීය ජලය පරිහරණය අර්බුදයක් කර ඇත. තවත් වසර විස්සකින් හෝ තිහකින් ආහාර හා ජලය සම්බන්ධ නොසිතන ගැටළු ඇතිවිය හැකි බව අනාවරණය වන ප‍්‍රබල කරුණකි. මහ පොලව කාර්යක්ෂම පරිහරණය සහ එහි ඇති සම්පත් ආරක්ෂා කරගැනීම ගැන විශාල සංවාදයක් පවතී. ශ‍්‍රී ලංකාවට ද එයින් බැහැර වෙන්නට හැකියාවක් නැත. මෙරට ඉඩම් නිෂ්පාදන ක‍්‍රියාවලියට දායක කර ගැනීම සහ එයින් උපරිම ප‍්‍රයෝජන ගැනීම ජාතික වගකීමක් සේ සලකා ක‍්‍රියා කළ යුතුය.

ඉඩම් යන කාරණය දේශපාලන, සමාජ මහ ආර්ථික වශයෙන් ප‍්‍රබල අවධානයකට ලක්ව ඇති බව පෙනේ. පලාත් සභා බලය බෙදන යෝජනා අතර වැඩිම සංවාදය ඉඩම් බලතල ගැනය. ජනතාව දේශපාලනඥයන්ගෙන් ඉල්ලන්නේ ජීවත්වෙන්නට සෑහෙන ඉඩමක්ය. දෙස් විදෙස් ආයෝජකයන් මෙරට ඉඩම් අත්පත් කරගෙන ව්‍යාපාර කරන්නට තැත් දරන්නේ මේ අතරවාරයේය.

ආණ්ඩුව මෙරට ඉඩම් වලින් වැඩිම කොටස තමන්ගේ භාරයේ තබා ගෙන එයින් නිසි ප‍්‍රයෝජන නොගැනීම ප‍්‍රශ්නයකි. කෘෂිකර්මාන්තයට යොදවා ඇති ඉඩම් වලින් ලැබෙන ආර්ථික වාසිය රටට ප‍්‍රමාණවත් නැත. ඉඩම සහ කෘෂිකර්මය අතහැර නගරයට සංක‍්‍රමණය වෙන්නට තරුණ පිරිස නැඹුරු වී ඇත්තේ එහෙයින්ය. ආණ්ඩුවේ ඉඩම් කුඩා කැබලි වලට කඩා ජනතාවට බෙදා දීම උත්තරය නොවේ. ලෝකයේ වෙනත් රටකින් එන ආයෝජකයෙකුට මෙරට ඉඩම් පවරා එයින් උපදවන ධනයෙන් ජීවත්විය හැකි යැයි තර්ක කිරීම ද අවාසි සහගතය. අනාගත ශ‍්‍රී ලංකාවේ පැවැත්ම තීරණය කරන්නට ඉඩ දෙන ඉඩම් ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍යව තිබේ. ජනතාව සහ ජනතා සංවිධාන පවතින ප‍්‍රවණතා සලකා බලා අලූත් යුගයට ගැලපෙන ආකල්ප සහිතව මෙරට ඉඩම් ප‍්‍රශ්නය ගැන සාකච්ඡා කරන්නට අවශ්‍යය. ඉඩම නිසි සේ පරිහරණය කරන්නේ කෙසේදැයි විමර්ෂණය කිරීම වැදගත්ය.

 

Advertisements