milinda-prashna

2017 01 04 – ලංකාදීප

සමාජය වෙනස් වෙයි. ඇවතුම් පැවැතුම් යහපත් පැත්තට හැරෙයි. ජනසමාජය සංකීර්ණ වන විට හොද දේ මතු කරගත යුතුය. කලින් පරම්පරාව අනුගමනය කරන සිරිත් තුළ ඇති වටිනාකම් ඉදරියට ගෙන යන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම වැදගත් යැයි හැගේ.

ගෙදර ප‍්‍රධාන දොරටුවේ අඹ කොළ වැලක් නොඑසේනම් ගොක් කොළ රුහැනක් එල්ලන අවස්ථා අදත් කලාතුරකින් දක්නට ලැබේ. එයින් අඟවන්නේ ගෙදර බෝවෙන රෝගයකින් පෙලෙන අයෙකු ඉන්නා බවය. එය මෙරට සංස්කෘතියේ උත්තම අවස්ථාවකි. තමන්ගේ නිවසේ රෝගියෙකු ඉන්නා බැවින් පරෙස්සම් වෙන ලෙස අසල්වාසීන්ට දන්වන සන්නිවේදයකි. නූතන ජනමාධ්‍යයේ දී සංකේතාර්ත සන්නිවේදනය ගැන උගන්වන අතර ජන සමාජය තුළ තවමත් නොගිලිහී පවතින මෙවැනි සංඥාර්ථ ගැන අවධානය යොමු කළ යුතුය. තවත් තැනෙක බෝවෙන රෝගියෙකුගේ අතෙහි පෙරුම්කායම් නමැති අධික ගන්ධයක් වහනය වෙන බෙහෙතක් කැටි කර ගැට ගසයි. විෂබීජ නාශයක් සේ සලකමින් බව සොයාබලන විට පෙනේ. විෂ බීජ නසන අතර එයින් වහනය වන සුවඳ රෝගියෙකු ගේ වග සමාජයට අඟවයි. මෙම උදාහරණ පෙන්වන්නේ ශ‍්‍රී ලාංකේය ජන සමාජය අනුන් ගැන හිතන, අන්‍යයන්ට ලෙඩක් දුකක් බෝ වෙන්නට ඇති ඉඩ කඩ වලකන අයුරු ගැන අප‍්‍රමාණ හැඟීමකින් ක‍්‍රියා කරන ලද බවය.

වර්තමානයෙහි බොවෙන රෝග බහුලය. උණ රෝග, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව නිතර වැළදෙන්නේ නැති අය දුලබය. පරිසරයෙහි ඇති දුවිලි, බැක්ටීරියා පමණක් නොව ගන්නා ආහාර වලින් පවා සනීපය අඩු කර අසනීපය වැඩිකරයි. ප‍්‍රතිශක්තිය අඩු කරන බව වෛද්‍යවරු පවා දක්වන කාරණාවකි. මෙම පසුබිම තුළ රෝග පැතිරවීම වලකන, සමාජය වෙත කරුණා සිතැති පුද්ගලයන් සේ හැසිරීමේ වගකීමක් අප සියළු දෙනාටම තිබේ.

ලෙඩ රෝග වලකන හුරුව ඇති කරගන්නා අයුරු නූතන භාවිතාව තුළ තිබේ. නොයෙක් රටවල වැසියෝ තමන් බෝවෙන රෝගයකින් පෙලෙත් නම් මුඛවාඩමක් පැළඳගෙන මගට බසිති. බටහිර රටවල් විශේෂයෙන් කරන්නේ එයයි. ජපානය, චීනය වැනි නොයෙක් රටවල වැසියෝ තමන් රෝගයකින් පෙලෙන්නේ නම් ආශ්වාස, ප‍්‍රශ්වාස වාතයෙන් එය බෝ විය හැකියැයි හැගෙන්නේ නම් එය වලකනු සඳහා මුඛ  ආවරණ භාවිතා කරති. එය කොපමණ හොඳ ගුණයහපත් කමක්ද?

අතීතයේ ගෙදර එළිපත්තේ නිවසේ රෝගීන් ඉන්නා බව අනියමින් සන්නිවේදනය කරන ලද සමාජයක වැසියෝ අද කිවිසුම් හරින්නේ කිසිදු හැඟීමකින් තොරව ප‍්‍රසිද්ධියේය. පොදු තැන් වල කහින්නේ සහ කාරා කෙළ ගසන්නේ අවට ඉන්නා පිරිස ගැන තැකීමක් නැතිවය. අතීතයට වඩා ජනාකීර්ණ, පොදු තැන් වල ගැවසෙන මෙකල අපගේ වගකීම් හා යුතුකම් ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. ලී ක්වාන් යූ මහතා ප‍්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසීම තහනම් කළේය. තවත් රටවල් ගණනාවක් හොඳ සිරිත් විරිත් ඇති කරන්නේ නීති පනවා බලහත්කාරයෙන්ය. සෞම්‍ය  පුරුදු ඇති, අනන්‍ය වටිනාකම් ආරක්ෂා කරගෙන සිටි රටට මෙම ස්වභාවය ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. තමන් බොවෙන රෝගයකින් පෙලෙන්නේ නම් ලේන්සුවක් භාවිතා කරන්න. මුඛ වැස්මක් පැළඳ ගෙන පොදු තැන් වලහැසිරීම අනන්‍යයන්ගේ යහපතට හේතු වෙයි. රෝගයකින් දුබල වී ඇති කල්හි තම ආශ්වාස වාතයෙන් වෙනත් ධූලක පෙනහළු වලට උරාගෙන තවත් දුබල නොවෙන්නට බලපාන කරුණකි. එතරම් වියදමක් සිදු නොවෙන, සමාජ පැවැත්ම අලූත් තැනකට යොමු කරන මෙවැනි දේ ගැන හිතන්නට පුරුදු වෙමු.

යහපැවැතුම් පාසලෙන් ආරම්භ කළ හැකිය. දෙමව්පියන් සහ දෙගුරුන්ට අපේ උරුමයෙහි ඇති හොඳ දේ නැවත පණ ගැන්වීමට හැකිය. පාසලෙන් ඇරඹුනහොත් අවුරුද්දක් දෙකක් යන විට සමාජයේ හැසිරෙන විට බෝවෙන රෝග පැතිරීම යම් ප‍්‍රමාණයකට සීමා වෙන්නට ඉඩ තිබේ. එය මෙම අවුරුද්දේ නිදුක් නිරෝගී වේවා, සුබ නව වසරක් වේවා ප‍්‍රාර්ථනා කරන තරමට යහපත ඇති කරනු ඇත.

Advertisements