milinda-prashna

2016/12/21 – ලංකාදීප

සිංගප්පූරුව ලෝකයේ වඩා සාර්ථක සමාජය බවට පත්වන්නේ ඇයි? නොබෝදා එරට  රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධ ලී ක්වාන් යූ අධ්‍යයන විද්‍යාලයේ ප‍්‍රධානී විශේෂ ලිපියක් ලියමින් ජාත්‍යන්තරයෙන් ප‍්‍රශ්න කළේය. රටේ සාර්ථකත්වයට හේතුවූයේ විශිෂ්ඨ නායකත්වය යැයි කියන ඔහු එය ළඟා කරගත්තේ කෙසේද යන්න රහසක් බව කියා සිටී. රහස හෙළි කරන අතර එය කරුණු තුනකින් සමන්විත උත්තරයකි. කරුණු තුනක් සඳහන් කරන හෙතෙම උද්දාමයෙන් කියන්නේ මානව වංශ ඉතිහාසය තුළ සාර්ථකම සමාජය සිංගප්පූරුව බවය.

කෙටියෙන් දක්වතොත්, ‘හැකියාව අනුව තැන’,  ‘ප‍්‍රායෝගික තීරණ’ සහ ‘අවංක බව’ එම කරුණු තුන බව සඳහන්ය. වැදගත්කමක් ඇතැයි වහා අවබෝධ කරගන්නට අපහසු මෙම සරල වචන තුන කුඩා රටක්, සාර්ථකත්වයෙන් දැවැන්ත රාජ්‍යයක් බවට පත් කර තිබේ. තේරුම් ගත යුතු බරසාර කතාවක් වචන තුනකින් කියන්නේ කෙසේද? හිතන්නට අවශ්‍යය.

මැලේසියාව සිංගප්පූරුව තම භාරයෙන් අත් හරින්නේ 1965 අවුරුද්දේය. ඒ වන විට ඇමරිකානු ඩොලර් 500 ක ඒක පුද්ගල ආදායම් මටට්මක සිටි එරට අද ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 55,000 කි. සියයට තුන් දහස් හත්සියයක වර්ධනයක් වන අතර ලෝකයේ  ඕනෑම රටකට වඩා යහපත් තත්ත්වයකි. ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය හා රැකීරක්ෂා යන කරුණු වලින් ප‍්‍රශස්ථ මට්ටමකය.

මෙම පරිවර්තනයට පදනම් වන පළමු කරුණ පුරවැසියන්ට හැකියාව හා දක්ෂතාවය අනුව තැන ලැබීමයි. එරට  ඕනෑම කාරණයක දී ධනය හෝ බලය බලපාන්නේ නැත. දේශපාලන හෝ නිලධාරී දැන හැදුනුම්කම් ප‍්‍රයෝජනවත් නොවේ. දක්ෂයන් සුදුසු තැන් වලට පත්වන විට සාධාරණ අවස්ථා, හොඳම ඵලදායීතාව සහ උපරිම කාර්යක්ෂමතාව එකට එකතු වෙයි. දෙවනුව ප‍්‍රයෝගික තීරණ යනුවෙන් සඳහන් කරන්නේ තවත් වැදගත් පැත්තකි. සිංගප්පූරුව අලූත් දේ වෙනුවෙන් පර්යේෂණ කරමින් ඉන්නේ නැත. ලෝකයේ වෙනත් රටක සාර්ථක වූ ක‍්‍රම රටට ගැලපෙන පරිදි සකස්කරගෙන ක‍්‍රියාත්මක කරයි. තෙවනුව අවංක භාවයයි. එහි දුෂණ වංචා හෝ අක‍්‍රමිකතා වලට ඉඩ නැත. තද නීති තිබේ. ඉහළ සිට පහලටම සියළු නිලධාරීන් හෝ පුරවැසියන්ට බලපාන්නේ එකම නීතියකි. එය රටේ අවංක බව තහවුරු කරන්නට හේතු වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටකට මුහුණපාන්නට අමාරුම දේ දුෂණයයි. සිංගප්පූරුව තද නීති පනවා අකුරටම ක‍්‍රියාවට නගන විට, එය සංවර්ධනයට බාධාවක් වූයේ නැති බව මෙම අනාවරණය හෙළිදරව් කරයි.

දියුණු වන රටකට මෙම පාඩම ඉතාම වැදගත්ය. තමන් දන්නා විශ්වාසනීය පුද්ගලයන් පාලනට නතුකරගෙන ඉදිරියට යන්නට හැකිබව හිතන සහ තමන්ගේම ක‍්‍රමයක් එයට උපයෝගී කරගත යුතුයැයි හිතන සහ දියුණුවන විට සිදුවන දුෂණ හෝ වංචා නොවැලැක්විය හැකියැයි සිතන සමාජයකට මෙම වචන තුන කදිම ආදර්ශයකි.

සිංගප්පූරුව නිදහසක් නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අඩු රටක් සේ කෙරෙන විවේචනයට ද ලී ක්වාන් යූ අධ්‍යයන විද්‍යාලයේ ප‍්‍රධානියා උත්තර දී තිබේ. නිදහස් ගමන් බලපත‍්‍ර හිමි,  ඕනෑම රටකට යන්නට බාධාවක් නැති පුරවැසියන් මෙම රට නුසුදුසු තැනක් නම් මෙතැනින් පලා නොයන්නේ මන්ද? හෙතෙම ප‍්‍රශ්න කරයි. අනෙක් අතට බටහිර මාධ්‍ය සිංගප්පූරුවේ ක‍්‍රමය එක්තරා ආකාරයකට විවේචනය කරන බව ඔහු පෙන්වා  දී ඇත. නමුත්  ඕනෑම ජාත්‍යන්තර දර්ශකයක් කියන්නේ සිංගප්පූරුව ජීවත් වෙන්නට සුදුසුම තැනක් සහ ආර්ථික සහ සමාජ නිදහස අතින් ඉහළම ශ්‍රේණිගත කිරීමක් පවතින බවය. දියුණු සිංගප්පූරුවට හිමි අනන්‍යතාවය එය බව ඉතාමත් පැහැදිලි කාරණයක් යැයි මෙයින් පෙන්වා දී තිබේ.

ලෝකයේ නොයෙක් රටවල් සිංගප්පූරුව ආදර්ශයට ගෙන ඉදිරියට එන්නට සූදානම්ය. එරට තීරණ අධ්‍යයනය කර ඒවා තමන්ගේ සැලසුම් වලට සමපාත කරගන්නට කැමැතිය. නමුත් හෙළිදරව් කර ඇති  වචන තුනක රහස අනුව තීරණ ගන්නට සූදානම් ද?

 

 

Advertisements