milinda-prashna

2016/12/14 – ලංකාදීප

පොළොන්නරුව පෞරාණික නගරයකි. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම නගරයක් සේ නම් කර තිබේ. මෙරට ඉතිහාසයට අනුව අනුරාධපුර රාජධානියට පසු පොළොන්නරු යුගය බිහිවෙයි. පළමුවැනි විජයබාහු රජු පොළොන්රුව සිය රාජධානිය සේ තෝරා ගන්නේ චෝල ආක‍්‍රමණිකයන් පළවා හැරීමෙන් පසුවය. රාජධානියේ සශ‍්‍රික අවධිය සේ සැලකෙන්නේ මහා පාරාක‍්‍රමබාහු පාලන සමයයි. අහසින් වැයෙන එක දිය බිඳක් හෝ  ප‍්‍රයෝජනයට නොගෙන මහා සාගරයට යව්ට නොදෙන බව ප‍්‍රකාශ කර සමුදුර හා සමාන මහා වැව් බඳවා කෘෂිකර්මය නංවන්නට පරාක‍්‍රමබාහු රජතුමාට දර්ශනයක් තිබී ඇත. නගරය ජාතික ආගමික සහ කෘෂිකාර්මික වශයෙන් දියුණු කරන ලද බව ඓතිහාසික වාර්තා දක්වයි.

රාජධානිය සියවස් දෙකකට පමණ සීමා වී ඇත. මහා වංශයට අනුව පොළොන්නරුව රාජධානිය බිඳ වැටෙන්නට හේතු කිහිපයකි. මෙරට රාජ්‍යත්වයේ ස්ථාවර භාවය නොතිබීම එකකි. වැදගත්ම කරුණක් වූයේ කාලිංග මාඝ ආක‍්‍රමණයයි. මහා වංශය සඳහන් කරන පරිදි ‘‘ආක‍්‍රමණිකයෝ මිනිසුන් බැද දමා වධ කොට ධනය පැහැරගෙන දිළින්දන් කළහ. ප‍්‍රතිමා බිඳ හෙලූහ. චෛත්‍ය විනාශ කළහ. විහාර කොල්ල කෑහ.’’ යනුවෙන් දැක්වෙයි. එහිම තවත් සඳහන් වන්නේ ‘‘පීඩාවට පත් භික්ෂූන් ඇතුළු සෙසු ජනතාව ආරක්ෂාව පතා රුහුණට, මලය රටට හෝ මායා රටට සංක‍්‍රමණය’’ වූ බවය.

මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත‍්‍රවන දන්ත ධාතුන් වහන්සේ වැඩමවා එය මහනුවර වඩා හිමිවන අතර අද වැනි උදුවප් පොහොය දිනයක සිදුවූ ජය ශ‍්‍රී මහා බෝධිය වැඩමවා අනුරාධපුරයේ රෝපණය කෙරෙති. පොළාන්නරුව ආක‍්‍රමණයෙන් රටේ වෙනත් ප‍්‍රදේශ කරා පැමිණි ජනී ජනයාට එයින් පසු කාලයේ දී පොළොන්නරුව නගරය ඉතා දුර බැහැර වෙන්නට ඇත. පොළොන්නරුව ගල් විහාරය ඇතුළු සොළොස්මස්ථානය ගැන අවධානය අඩුවෙන්නට බලපාන ලද බව උපකල්පනය කරන්නට හැකිය.

පොළොන්නරුව ලෝක අවධානය දිනා ගෙන තිබේ. ලෝක උරුමයක් සේ නම් කරන්නේ එහෙයින්ය. විවිධ සංරක්ෂණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් එහි ඇති ඓතිහාසික ස්මාරක මතු පරපුර වෙනුවෙන් රැකගන්නට ප‍්‍රයත්න දරන්නේ ද එසේ හෙයින් බව තේරුම් ගැනීම අපහසු නැත.

ගමනාගමනය වඩා පහසු මෙකල ලෝකයේ නන් දෙසින් සංචාරකයෝ පොළොන්නරුව සොයා එති. අන්තර්ජාලය පොළොන්නරුව ගැන සෑහෙන තොරතුරු ප‍්‍රමාණයක් සන්නිවේදනය කරයි. මෙරට බැතිමතුන් ද දිවයිනේ නොයෙක් තැන සැරිසරමින් ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව අත්විඳින බව නිරීක්ෂණය කළ හැකිය. පෞරාණික නගරයක් පමණක් නොව එහි ඇති බොදුනු ලක්ෂණ ද ආරක්ෂා කර රාජ්‍ය අනුග‍්‍රහයෙන් නගා සිටුවීම සුදුසුය.

පොළොන්නරුව සොළාස්මස්ථාන භූමි භාගය පූජා නගරයක් සේ සංවර්ධනය  කරන්නට අවශ්‍යය. එහි ජීවත් වූ මුල් පරම්පරාවේ ජන කොටස් උරුමය අත්හැරියේ කැමැත්තකින් නොවේ. කාලිංග මාඝ ආක‍්‍රමණයේ දී අග නගරය අත්හැර දමා රටේ වෙනත් පලාත් වලට ගිය පිරිස අතර මෙරට සියළුම දෙනාගේ අක් මුල් විහිදී ඇති බව නිසැකය. තමන්ගේ පරපුරේ මූලාරම්භය ගැන හිතන්නටත්, අගනගරයේ සොළොස්මස්ථාන පෙදෙස නගා සිටුවා පූජා නගරයක් කිරීමත් වත්මන් පරපුර සතු යුතුකමකි.

පොළොන්නරු යුගයේ අසමාන නිර්මාණ වන වෛජයන්ත ප‍්‍රාසාදය, කලා වැව ගල් විහාරය රටේ විශිෂ්ඨත්වය දක්වන සංකේතයන්ය. බොදුනු පමණක් නොව සොලී ආක‍්‍රමණයේ දී එහි ඇති කරන ලද හින්දු අනන්‍යතාවය ද එහි තිබෙන බව සඳහන් කරන්නට අවශ්‍යය. එයින් කියන්නේ පොළොන්නරුව සංහිඳියාවේ භූමියක් සේ පෝෂණය කරන්නට ද ඇති සුදුසුකමකි. ජාත්‍යන්තර වෙසක් උත්සවය ලබන වසරේ පැවැත්වෙන්නේ ශ‍්‍රී ලංකාවේදීය. මෙවැනි උත්සව පවත්වන විශේෂිත අංග මෙරට බොදුනු අනන්‍යතාව පුනර්ජීවනය කළ හැකි පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන පවත්වා එය පූජා නගරයක් සේ නම් කිරීම කාලෝචිතය.

 

 

 

 

Advertisements