milinda-prashna

2016/11/09 – ලංකාදීප

ගෙවී ගිය පැය විසි හතර තුළ ලෝකයේ පැවැති නොසන්සුන් තත්ත්වය අවධානයට ගෙන තිබේද? හොඳ දේ සියයක් කියැවෙන විට දහසක් දේ අහන්නට ලැබෙන්නේ ආන්දෝලනාත්මක කාරණාවන්ය. ඉන්දුනීසියාවේ ජනතාව වීදි බැස තිබේ. දකුණු කොරියාවේ අර්බුදයකි. දකුණු අප‍්‍රිකාව ද නොසන්සුන්ය. මෙම රටවල පුරවැසියන් කියන්නේ මොනවාද? අවුරුදු හය හතකට කලින් අරාබි වසන්තය ලෝකයේ නායකයන් තැති ගැන්මකට ලක් කළේය. ඒ හා සමාන ස්වභාවයක් දැන් පැන නැගෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය දක්වයි.

ඉන්දුනීසියාවේ පවතින පාලනය අන්‍යාගමික එකක් යැයි කියන මුස්ලිම්වරු එයට විරුද්ධව වීදි බැස තිබේ. ආසන්න හේතුව ජකර්තා ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රකාශයයි. ජනාධිපතිවරයා එයට සමාව ගත් නමුත් ලක්ෂ ගණනින් ජකර්තා නගරයට රැස් වූ ජනී ජනයා ආණ්ඩුව අපහසුතාවයට පත් කරමින් සිටිති. එරට ජනහගනයෙන් සියයට අනූවක් පමණ මුස්ලිම් බැතිමතුන් වන අතර අන්‍ය ආගමිකයන් තම ආගමට නිග‍්‍රහ කරන බව කියමින් වීදි බැසීම දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇත. දකුණු කොරියාවේ ජනාධිපතිනිය දෙවතාවක් ජනතාවගෙන් සමාව ගත් නමුත් ඇයගේ හිතවතුන් බලය අයුතු ලෙස පාවිච්චි කරන බව කියන ඉන්දුනීසියානුවන් ඇයට ඉවත්ව යන ලෙස බලකරමින් සිටී. දකුණු අප‍්‍රිකාවේ ජනාධිපතිවරයා ඉදිරියේ දුෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විශාල ජනමතයක් ඇවිලී තිබේ. මෙම රටවල් තුන පමණක් නිරීක්ෂණය කළ ද ආර්ථික සහ සමාජ ගැටළු වලින් එපමණකට උග‍්‍ර තැනක නොතිබුණ නමුත් වර්තමානයේ ක‍්‍රමයෙන් නැගී අවදිවන ජනතා බලය බරපතල බව ඉතාමත් පැහැදිලිව පෙනෙන කාරණයකි. මෙම සිද්ධි තුන පමණක් නොව බටහිර යුරෝපා රටවල ද වෙනස් වලාකුළු මතු වෙමින් තිබෙන බව පහැදිලිව පෙනේ.

සන්සුන් රටවල් එකවර ඇවිලෙයි. ජනයා නැගී ඇවිලෙන වේගය තේරුම් ගන්නට තරම් අපහසු එකකි. ඉන්දුනීසියාවේ, දකුණු අප‍්‍රිකාවේ හෝ දකුණු කොරියාවේ පාලකයන් ඉතාම නරක තීන්දු ගත්තේ නැත. පාරට බැස, විශාල හානියක් කරමින් උද්ඝෝෂණය කරන්නට කලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡාවකින් අනතුරුව තීරණයකට එළැඹ සමතයකට පත් විය හැකි සිද්ධි සේ සැලකිය හැකිය.

මත අවුළුවා ජනී ජනයා පොළඹවන්නේ කොතැනින්ද? ජාත්‍යන්තර විචාරකයන්ට අනුව සමාජ මාධ්‍ය එයට වගකිව යුතුය. සමාජ මාධ්‍ය ජාලා අලූත් අදහස් එකතු කරයි. ඒවායෙන් මතු වෙන්නේ ක්ෂණයකින් පැන නැගෙන අදහස්ය. මනුෂ්‍යයන්ගේ හැඟීම්ය. කෙටියෙන් පළ කරන අදහස්, ඒයාට එන ප‍්‍රතිචාර ආවේග මතු කරයි. සමාජ මාධ්‍ය ජාලා වල පළ කරන විත්ති කතා කරන්නේ මොලයට එහෙම නැතිනම් බුද්ධියට නොවේ. හදවතටය. විශේෂයෙන් මේවායේ කතාන්දර ආමන්ත‍්‍රණය කරන්නේ හදවතක හැඟීම් වලටය. හැඟීම් ඇවිලෙන විට බුද්ධියට ආමන්ත‍්‍රණය කිරීම පහසු කාර්යයක් නොවේ. සලකා බැලිය යුතු වැදගත්ම පැත්ත එයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහභාගීත්ව ක‍්‍රමවේදයකි. සියළු දෙනාගේ අදහස් සාකච්ඡා කරන අතර තීරණ ගැනෙන්නේ පොදුවේ වැඩි දෙනෙකගේ කැමැත්ත අනුවය. නමුත් අද ඇති අභියෝගය මුණ නොගැසෙන කණ්ඩායම් තමන්ගේ මත පැතිරවීමයි. සාකච්ඡාවට, සංවාදයට පාත‍්‍ර වන නමුත් මෙම සමාජ මාධ්‍ය ජාලය තුළ ඒවා හැසිරෙන්නේ අන්තවාදී ප‍්‍රවේශයකින්ය. ලෝකයේ පැවැත්ම හමුවේ තර්ජනාත්මක සේ නැගෙන්නේ එකී අන්තවාදී මතවාදයන්ය.

හැඟීම් වලින් ජනකාය අමතන නූතන ව්‍යුහය දෙස නායකයන් අවධානය යොමු කළ යුතුය. ආගමික, ජාතික හෝ දේශපාලන නායකයන් තමන්ගේ තීරණ දෙස නව ප‍්‍රවේශයයකට යොමු විය යුතුය. තීරණ ගන්නා විට එයින් ඇතිවියහැකි ප‍්‍රතිඵල ලැන දෙතුන් පැත්තකින් හිතා බලන්නට අවශ්‍යය. වර්තමාන ජාලගත සන්නිවේදනය හා සමාජ මාධ්‍ය භාවිතාව නායකත්ව භූමිකාව අභියෝගයට ලක්කර ඇති අතර නායකයින්ට පරෙස්සමෙන් යනුවෙන් කියන්නට සිදුවී ඇත්තේ ඒ නිසාය.

 

 

 

Advertisements