milinda-prashna

2016/11/02 – ලංකාදීප

මහජනතාව තම නියෝජිතයන් තෝරාගන්නේ රට පාලනය කරන්නටය. යහපත, දියුණුව සහ පැවැත්ම වෙනුවෙන් තීරණ ගෙන ක‍්‍රියාත්මක කරන්නටය. නමුත් මැත කාලය තුළ දේශපාලනඥයන්ට අභියෝග මතු වී තිබේ. ආණ්ඩු බලයට පත් කරන්නේ බලාපොරොත්තු සහගතවය. මැතිවරණයක දී මහජන නියෝජිතයන් බලයට පත්වන්ටන් විශාල ජනතා කැමැත්තකින් බව පෙනේ. නමුත් ඉක්මනින් මෙම කැමැත්ත සහ බලාපොරොත්තු පළුදු වෙමින් තිබේ.

මෑත භාගයේ පැවැති ආණ්ඩු ක‍්‍රියාත්මක වන විට අසංවිධානාත්මක පැති පිළිබිඹු වෙන්නට පටන් ගත් බව සිහිපත් කළ යුතුය. දුර්වල සහ අසාර්ථක තීරණ මතු වෙයි. අවසාන ප‍්‍රතිඵලය විශ්වාසය පලූදුවීමය. දේශපාලනඥයන් යනු ඳුෂිතයන් බවට මතයක් සමාජය තුළ හටගෙන ඇති අතර තමන්ගේ පෝෂණය උදෙසා මැති ඇමැතිකම් වලට පත් වන බවට පොදු අදහසක් පැන නැගී තිබේ. ජනතාව තුළ ප‍්‍රමාණයට වඩා බලාපොරෙත්තු ඇති කරන්නේ ඡන්ද වේදිකාවේදීය. සාක්ෂාත් කරන්නට නොහැකිවීම තුළ මෙකී කලකිරීම ඇතිවන බව පැහැදිලිය.

දේශපාලන ව්‍යුහය සම්බන්ධ විරෝධය නැගෙන විට දෝෂ හඳුනාගෙන නිවැරදි කරගන්නට උත්සාහ කිරීම වැදගත්ය. නමුත් බහුලව සිදුවෙන්නේ ක‍්‍රමය නිවැරදි කිරීම වෙනුවට අලූත් ආයතන හදා වගකීම පැවැරිමට බව පෙනේ. එය පවතින ස්වභාවය තවත් සංකීර්ණ කරන්නට  හේතුවක් වී ඇත.

සංවර්ධනය වෙනුවෙන් ආයතන තිබිය දී ඒවා වෙනුවට අලූත් ආයතන හැදෙන අතර පරිපාලනය වෙනුවෙන් විධිවිධාන තිබිය දී ඒවා වෙනුවට වෙනත් පරිපාලන ව්‍යුහ සකස් වෙයි. මණ්ඩල, සංවර්ධන අධිකාරී. ස්වාධීන කොමිෂන් ඇතුළු විශේ ෂ ඒකක පිහිටුවීම මැත කාලය තුළ සිදුවිය. අරමුණු සාක්ෂාත් කරගන්නට ක‍්‍රමයක් තිබිය දී එයට අනුරූප තවත් විශේෂ ව්‍යුහයක් හදන විට සංවිධානාත්මක රාමුවක හැඩතල වෙනස් වෙයි. පිරිවැය ඉහළ යන අතර බලය කේන්ද්‍රගතවන ආකාරයෙහි පරස්පරතා මතුවෙයි. මෑත දශක දෙක තුන තුර මෙරට රාජ්‍ය පාලනය, සංවර්ධනය, නීතිය හා සමාජ සාධාරණත්වය උදෙසා පිහිටුවන ලද එකිනෙකට වෙනස් ආයතන විශාල ප‍්‍රමාණය එක්තරා අන්දමකට මෙරට අසාර්ථකත්වය පෙන්නුම් කරන දර්ශකයකි.

ජනතාව පත්කරන නියෝජිතයන්ගෙන් වැඩක් කෙරෙන්නේ නැති හෙයින් එයට විකල්ප ආයතන හැදීම රට ඉදිරියට ගෙන යන ක‍්‍රමය නම්, රටට මහජන නියෝජිතයන් කුමටද?

රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙන විට ජනතාව දොස් කියන්නේ ආණ්ඩුවටය. නීතිය තුළ ගැටළු මතුවෙන විට මහජනතාව එය පවරන්නේ පාලකයන්ටය. හරි දේ නිසි අන්දමට ක‍්‍රියාවට නැගීම දේශපාලනඥයන් ගේ වගකීම විය යුතුය. නමුත් කළ යුතු දේ පැත්තකින් තියා ක‍්‍රමය තුළ අලූත් අත්හදා බැලීම්වලට යොමුවන විට ජනතාවට ලැබෙන්නේ විසඳුම් නොව ආයතන පද්ධතියක් පමණකි.

දේශපාලනඥයන් පිරිහී, ක‍්‍රමය අසාර්ථික වන විට ඇතිවිය හැකි අනතුර භයානයකය. ජනතා අපේක්ෂා සාක්ෂාත් කරන වැඩ පිලිවෙල නිසි සේ සකස් නොකළහොත් එහි අවසානය පිපිරීමක් විය හැකිය. මෑත කාලය තුළ අවස්ථා ගණනාවක දී උතුර දකුණ වෙනසක් නැති විප්ලව පෙන්නුම් කළේ ක‍්‍රමය වෙනස් විය යුතු බවය. දේශපාලනඥයන් පැවැත්ම සොයා ගත යුතු මහජනතාව මතු කරන ඔවුන්ගේ එදිනෙදා ගැටළු වලට විසඳුම් සම්පාදනයෙන් විනා අලූතින් ආයතන හැදීමෙන් නොවේ. අලූත් ආයතන හැදී දේශපාලනඥයන්ගේ බලය අඩුවෙන විට එයින් ඇතිවන ප‍්‍රතිඵලය විනිවිද දැකිය යුතු අතර මහජන ඡන්දයෙන් පත්කරන නියෝජිතයා ගැන විශාල බලාපොරොත්තුවක් ඇති සමාජය නැඹුරු වෙන්නේ කොතැනට දැයි සිතා බැලිම වැදගත්ය.

 

 

Advertisements