milinda-prashna

 

28/09/2016 – ලංකාදීප

‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු දුෂ්ඨ අවසානයේ දී විකට, අවිශ්ෂ්ඨ, බලහත්කාරකමක් නොව හොඳ බලාපොරොත්තු ඇති කරන පරම නිදහසය’’ යැයි ඇමරිකානු ලේඛක ජේම්ස් බ්ලැඞ්වින් සඳහන් කර තිබේ. හෙතෙම අප‍්‍රිකානු සම්භවයක් ඇති ප‍්‍රකට ඇමරිකානු ලේඛකයෙකි. 1924 දී නිව්යෝක් හි උපත ලබා 1987 දී ප‍්‍රංශයේ දී අවසන් හුස්ම හෙළන අතරවාරයේ දී ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මැනැවින් අත් විඳින්නේය. එය හොඳ බලාපොරොත්තු ඇති කරන  පරම නිදහස යැයි කියන්නේ එහෙයින්ය.  නමුත් මැත කාලය තුළ හමන සුළඟ වෙනස් වී තිබේද? පායනා ඉර හඳ එදා කාලයට වඩා අද වෙනස්ද? එවැනි විමසීමක් වැදගත් මන්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ගමන් කරන දිසාව පැහැදිලි නැති හෙයින්ය.

හංගේරියාවේ දේශපාලන පක්ෂයක් ලියා පදිංවි කර තිබේ. වලිග දෙකේ බල්ලා එම පක්ෂයේ නමයි. 2006 දි පිහිටුවන ලද පක්ෂය පිළිගැනීමට එරට ආයතනික නීති සූදානම් වූයේ නැත. අවුරුදු අටකට පසු අධිකරණ තීන්දුවකට පසු ලියා පදිංචිය හිමි වූ අතර ලබන මැතිවරණයට තරඟ කරන්නට සූදානම් වෙයි. වලිග දෙකේ බල්ලා පක්ෂය ලියා පදිංචි කරන්නට එරට බලධාරීහු මැලි වූයේ මන්ද? එම පක්ෂයේ ප‍්‍රතිපත්ති විකාරරූපී වූ හෙයින් බව සඳහන් කළ යුතුය. තමන් ජයග‍්‍රහණය කළහොත් සදාකාලික ජීවිතය ලබා දෙන බව පක්ෂය පොරොන්දු වෙයි. ලෝකයේ සාමය තහවුරු කරනු ඇත. වැඩ කළ යුතු සතියකට එක් දිනයකි. දවසට දෙවතාවක් වර්ණවත්ව ඉර බැසයන්නට සලස්සවන බව තවත් එක පොරොන්දුවකි. නොමිලේ බියර් ලබාදෙන අතර අඩුම බදු ප‍්‍රතිශත පනවන බවට ද පොරොන්දු වෙයි.

මෙම පොරොන්දු ඉටු කරන්නට හැකි ඒවා නොවේ. රටවැසියන්ට පවා බැලූ බැල්මට එය තහවුරු වන නමුත් අනෙක් සියලූ දේශපාලන පක්ෂ කරන සාමාන්‍ය රැවටිල්ල එයට වඩා ඉහළින් ප‍්‍රසිද්ධියේ කරන්නට මෙම පක්ෂය සූදානම්ය. හංගේරියාවෙන් ලැබෙන තොරතුරු දක්වන අන්දමට දැනට එරට වැසියන්ගෙන් සියයට එකක් මෙම දේශපාලන පක්ෂයට කැමැතිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ඇති කර සමාජය හොඳ තැනක් බවට පත් කරන බව කියන ලෝකයේ බහුතරයක් දේශපාලන පක්ෂ හැසිරෙන අන්දම ගැන ප‍්‍රශ්න තිබේ. බලය ලබා ගැනීම සඳහා පක්ෂ පමණක් නොව දේශපාලනඥයන් ද ඉතා සටකපට ප‍්‍රතිපත්ති අනුව ක‍්‍රියා කරමින් සිටී. බුද්ධිමත් ජනතාවට ඒ ගැන මනා අවබෝධයක් ඇත. දේශපාලනඥයන් තම පාක්ෂිකයන්ගේ බහුතර මතය හසුරවන්නට අනුගමනය කරන අතිශය ලාබ උපක‍්‍රම හෙයින් දේශපාලන පක්ෂ, දේශපාලනඥයන්, මැතිවරණ ක‍්‍රමය සහ අවසානයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය බරපතල අනතුරකය. හංගේරියාවේ වලිග දෙකේ පක්ෂය මැනැවින් විදහා දක්වන්නේ එයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලෝකය පුරා මහා බලාපොරොත්තු ඇතත් ක‍්‍රමය ගමන් කරන දිසාව පෙන්වන්නේ එය විකට, අවිශ්ෂ්ඨ, බලහත්කාරකමක්  වෙත සමීප වෙමින් ඇති බවය. දේශපාලනඥයන් පොරොන්දු දෙන්නේ විකට ස්වරූපයෙන්ය. ජනතාව ඉදිරියේ කතා කරන්නට, ගයන්නට පමණක් නොව නර්තනයෙහි යෙදෙන්නට ද ඔවුහු සූදානම්ය. ස්වකීය ඡන්ද පදනම වැඩි කරගැනීම එකම අභිප‍්‍රායයි. ප‍්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් හමුවේ ඉතාම නරක, ද්වේශ සහගතව හැසිරෙන අතර මැර කල්ලි නඩත්තු කරමින් ප‍්‍රචණ්ඩව හැසිරෙන බව රහසක් නොවේ. සිය අභිප‍්‍රාය වූ බලය සාක්ෂාත් කරගැනිමට බලහත්කාරයෙන් කටයුතු කරන බවට උදාහරණ උවමනා තරම් සම්පාදනය කළ හැකිය. අන් මතය පරාජය කරන්නට ඝෝෂාව උපයෝගී කරගන්නා අතර සත්‍යය යටපත් කරන්නට උපයෝගී කරගන්නේ අසත්‍යයයි.

මහජන ගෞරවය දිනාගත යුතු පක්ෂ සහ දේශපාලනඥයන් පටු අරමුණු සලකා ජනප‍්‍රියත්වය හඹා යන අතර අවසානයේ දී අනතුර එල්ල වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටය. අද වන විට එය සීමාව කරා පැමිණ ඇති බව ලොව නන් දෙසින් වාර්තා වෙන කරුණු  මැනැවින් අනාවරණය කරයි. මෙම සන්ධිස්ථානය තුළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොතැනක ද යන්න සාකච්ඡා කිරීම සුදුසුය.

 

 

Advertisements