milinda-prashna

2016/09/07

‘‘වීරයා මැරිලා’’ රට පුරා වේදිකාගත වන නාට්‍යයකි. රාජිත දිසානායක එම නාට්‍ය ඉදිරිපත් කරන්නට කලින් ‘‘සිහින හොරු අරන්‘‘ යනුවෙන් නාට්‍යයක් වේදිකා ගත කළේය. සම්මාන දිනූ මෙම නාට්‍ය වලින් කියන්නේ එදිනෙදා ජන ජීවිතයේ මුහුණ පාන සරල සිද්ධීන්ය. පොදු ජනතාව හොයන්නේ විරයන්ය. තමන්ගේ සිහින සාක්ෂාත් කරන්නට සමත් නායකයන්ය. නාට්‍යවේදීන් ප‍්‍රතිනිර්මාණය කරන්නේ මෙම උවමනාවයි. තමන්ගේ අභිමතාර්ථ ඉටු කරදෙන වීරයෙකුට ජනතාව කැමැතිය. නමුත් ප‍්‍රශ්නයක් තිබේ. එවැනි වීරයන් නැත. හි`ගය. ලෝකයේ හැම තැනකම තත්ත්වය එයයි.

‘‘අලූත් හොරෙක්  ඕනෑ’’ යනුවෙන් අජිත් මෙන්ඩිස් නාට්‍යයක් හදයි. මෙම නාට්‍යයේ රඟපෑ දක්ෂ නළුවෙකු වූ විජය නන්දසිරි අද ජීවතුන් අතර නැත. නාට්‍ය වලින් වීරයන් හොයන සමාජය එක්තරා සන්ධිස්ථානයකට පැමිණ සිටී. ‘‘වීරයා මැරිලා’’ යනුවෙන් අනියමාර්ථයෙන් සමාජයට කියන නාට්‍යකරුවන් ‘‘අලූත් හොරෙක්  ඕනෑ’’ යයි කියන්නේ ඇයි? නිර්මාණකරුවන් වේදිකාව තුළ කරන හරඹයේ දී වීරයෝ සොයති. වීරයන් ගේ චරිත වලට ආවේශ වී ප්‍රෙක්ෂකයන්ගේ හිතේ ඉන්නා වීරයා මවා එම චරිතයේ විවිධ පැතිකඩ නිරූපනය කරති. එම සජීවී අභ්‍යාසයට ජනතාව කැමැතිය. නමුත් හැබෑ ජන සමාජය තුළ වීරයෝ නැත. නායකයෝ විරලය. ඉතාම ඉක්මනින් ජනප‍්‍රිය වෙන චරිත සුළු කාලයකින් ජනතාව ගේ අතෘප්තියට ලක්වෙති. පිරිහීමට ලක්ව ජන අනවධානයට හේතුවෙති. වීරයෙකු හැටියන සමාජය තෝරා ගන්නා නායකයා ඉක්මනින්ම හොරෙකු වෙන්නේ ඇයි? එපමණක් නොව අලූත් හොරෙක්  ඕනෑ යයි ප‍්‍රකාශ කරන්නට හදිස්සි වෙන්නේ මන්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වභාවය එබඳුය. එය නූතනයේ ස්වභාවයයි. මහා පිළිගැනීමකින් ඉහළටම ඔසවා තබන නායකයෙකු මාසයක් දෙකක් යන විට එපා වෙන සමාජය ඉල්ලන්නේ වෙනත් නායකයෙක්ය.

පරමාදර්ශී නායකයන් බලාපොරොත්තු වෙන පොදු ජනතාවට සැබෑ ජීවිතයේ දී ලැබෙන්නේ කලාතුරකින්ය. තමන්ගේ ප‍්‍රශ්න නිරාකරණය කර අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටින වීරයෝ ස්පර්ශ කරන්නට අවස්ථාව නැත. අභියෝග හමුවේ සටන් කරන සමාජ උන්නතිය වෙනුවෙන් ජීවිතය නොතකා පෙනී සිටින වීරයෝ ඇත්තේම නැති තරම්ය. එහෙයින් නායකයන් පමණක් නොව ජන වීරත්වය ද තැනෙන්නේ වේදිකා චරිත රංගනයකය. සිනමා හෝ ටෙලි නාට්‍ය නිර්මාණයකය.

නොබෝදා දකුණු ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් ප‍්‍රදර්ශනය ආරම්භ කරන ලද කබාලි චිත‍්‍රපටය ද එවැනි එකකි. එහි අයුක්තියට එරෙහිව සටන් කරන වීරයෙකු සිටී. එහි පේ‍්‍රක්ෂකයන් මෙම වීරත්වයට දක්වන්නේ මහා කැමැත්තකි. කබාලි චිත‍්‍රපටය ඉන්දියාවේ සිනමා ශාලා තුන්දහස් දෙසීයක එකවර ප‍්‍රදර්ශනය ආරම්භ කළේය. එයින් දෙදහසකට වඩා දකුණු ඉන්දියාවේය. ප‍්‍රදර්ශනය ආරම්භ කරන දිනයේ දී ම එය නරඹන්නට සිනමාලෝලීහු කැමැතිය. එය සිනමා තාරකා අතරින් වීරත්වය සොයන  උන්මාදයකි. එය කොපමණ බලවත් එකක් ද යත්, කම්හල්, ව්‍යාපාර හා සේවා ස්ථාන වල සේවකයන් අසනීප නිවාඩු ගෙන කබාලි බලන්නට යන උත්සාහය හමුවේ දකුණු ඉන්දියාවේ ඇතැම් කාර්යාල එදින නිවාඩු දිනයක් සේ ප‍්‍රකාශයට පත් කර තිබුණි. ඉන්දියාවේ පමණක් නොව ලෝකය පුරා රටවල් ගණනාවක කබාලි ප‍්‍රදර්ශනය කර තිබේ. එය ආදායම් වාර්තා පිහිටුවා ඇති අතර චින භාෂාවට ද සිරස්තල යොදා චින සිනමා රසිකයන්ට ද පෙන්වන්නට සූදානම්ය.

මෙරට පමණක් නොව අසල් වැසි ඉන්දියාවට හා එයින් ඔබ්බට ද වීරයන් ගැන තක්සේරුවක් තිබේ. ජනතාව සොයන්නේ පුද්ගල අභිලාශයන්ගෙන් තොරව සටන් කරන නායකයන්ය. මෙරට ත‍්‍රීවිලර් වල පවා චේ ගුවේරා ගේ පින්තූරය අලවා සංකේතවත් කරන්නේ එයයි. දුශ්ඨයා පරාජය කර සමාජය යහපත් තැනක් කරගැනීමේ අපේක්ෂාව නායකත්වය තුළින් පළවෙයි. එය රටවල් පුරා පැතිර යන, ජාත්‍යන්තර තලයේ පවා අවධානයට ලක්ව ඇති කාරණයකි. වීරයා මැරිලා ය. අලූත් හොරෙක් උවමනා වී තිබේ. ජනතාව නායකයන් දකින්නේ වේදිකාවේ දීය. යථාර්ථය එයයි.

 

 

Advertisements