milinda-prashna

2016/08/24 – ලංකාදීප

කාර්ලෝස් ස්ලිම් ව්‍යවසායකයෙකු වශයෙන් ලෝකයේ ඉහළම තැනට පත් ධනවතෙකි. මැක්සිකෝ පුරවැසියෙකු වන හෙතෙම 2010-13 කාලයේ ලෝකයේ ධනවත්ම පුද්ගලයා විය. නොබෝදා මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වන හෙතෙම ශිෂ්ඨාචාරය දියුණුව සමග වැඩකරන දින ගණන අඩු විය යුතු බවට අදහසක් පළ කරයි. තාක්ෂණය දියුණු වී තිබේ. අඩු වෙහෙසෙකින් වැඩි ප‍්‍රගතියක් අත්පත් කරගත හැකි අවස්ථාවක නොනැවතී වෙහෙසෙන්නට අවශ්‍ය නැති බව දක්වයි. සතියකට දින තුනක් වැඩ කිරීම ප‍්‍රමාණවත් වන අතර ඉතිරි කාලය වෙන් කළ යුතු හිතන්නට සහ දැනුම වැඩි කරගන්නට බව ඔහු  කියයි.

ලෝකය වෙළඳ පොළ නිෂ්පාදනය පැත්තෙන් ඉහළටම පැමිණ තිබේ. තාක්ෂණික සහ සන්නිවේදනය ප‍්‍රබලය. ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ගැන තොරතුරු වාර්තා කරන්නේ ඒවා ඉතාම දියුණු සංකල්ප බවට පත්ව ඇති බවය. නමුත් සියලූම ලෝක වාසීන්ට මෙම වාසි සමබරව බෙදී නැත. සමාජ තුළ දරිද්‍රතාවය හුදෙක් ආහාර පාන සපයා ගැනීමට සීමා වී නැත. එහෙයින් ආකල්ප, දැනුම, සන්නිවේදනය යනා දී වශයෙන් එකිනෙකට වෙනස් අලූත් පැති වලින් ජනතාව දුප්පත් වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. අත මිට සරු සමාජ පවා වෙනස් පැති වල දී දුප්පත්කමට ගොදුරු වී තිබේ.

ලෝකයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සියලූ සැප සම්පත් හිමි කාර්ලෝස් වැඩ කරන දින ගණන අඩු කර වැඩි පුර හිතන්නට කාලය වෙන් කිරීම ප‍්‍රශ්නයක් නැත. නමුත් එදිනෙදා මහන්සි වී උපයන දේ දෛනික පැවැත්මට ප‍්‍රමාණවත් නැති තත්ත්වයක සිටින ලෝක වාසී ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එය විවාදාත්මක අදහසකි.

විරැකියාව ප‍්‍රශ්නයක් වී ඇති රටක, වැඩ කරන ජනතාව කලින් විශ‍්‍රාම යවන විට එය අලූත් ප‍්‍රජාවට අවස්ථා සම්පාදනය කරයි. එක්තරා කාලසීමාවකට පසු වැඩ කරන කාලය  සතියකට දින තුනක් දක්වා සීමා කළහොත් එය තවත් පුද්ගලයෙකුට වැඩ කරන්නට අවකාශයක් නිර්මාණය කරයි. මහන්සි වී වැඩ කරන ලද පසුව සතියකට දින තුනක් වැඩ කරන රීතියට යොමු වන වෘත්තිකයන් ගේ ඉතිරි කාලය රටක ක‍්‍රීඩා, සංස්කෘතික, සංචාරක, අධ්‍යාපන හෝ වෙනත් අතිරේක විනෝදාත්මක දේ වෙනුවෙන් අවකාශයක් නිර්මාණය කරයි. කාර්ලෝස් ස්ලිම් එවැනි අදහස් දක්වා තිබේ. කාර්යාලයට එන කාලය අඩු කරන්නට හැකිවන පරිදි තොරතුරු තාක්ෂණය දියුණු වී ඇති අතර වැඩ කරන්නට කාර්යාලයටම පැමිණිය යුතු නැත. නූතන යුගය තුළ කාර්මික මෙවලම් හැසිරවීම විනා දහඩිය මහන්සියෙන් වැඩ කිරීම සීමා වෙන පසුබිම තුළ කලින් විශ‍්‍රාම ගත්ත ද වැඩි වයස් ගත වනතෙක් අත්දැකීම් වලින් ප‍්‍රයෝජනයට ගන්නට හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

වැඩ කරන කාලය අඩු කිරීමෙන් දුප්පත් ජන කොටසට අවාසියක් වන බවට නැගෙන අදහසට ද ඔහුට උත්තරයක් තිබේ. එක තැනක සතියකට දින තුනක් වැඩ කරන කෙනෙකුට තවත් උපයන්නට අවශ්‍ය නම් තවත් තැනක තවත් දින තුනක් වැඩ කරන්නට බාධාවක් නැති බව ඔහු පෙන්වා දෙයි.

කාර්මික යුගයේ දී පැය අටක වැඩ මුරයක් දිනා ගත්තේ බලවත් පරිශ‍්‍රමයකින් පසුවය. උද්ඝෝෂකයන්ගේ රුධිරය වීදි පුරා ගලා ගියේය. සේවා යුගයේ දී හාම්පුතුන් පැය අටටත් අඩු කාලයක් වැඩ කරන්නට යෝජනා කරන බව පෙනෙන්නට තිබේ. නිෂ්පාදනය නොකර පැවැත්මක් නැති තැනක සිට නිෂ්පාදනය කරන්නේ කෙසේදැයි බුද්ධියෙන් සිතා බලන තැන දක්වා ශ‍්‍රමිකයාගේ භූමිකාව පරිවර්තනය වී තිබේ. කාර්ලෝස් ස්ලිම් අර්ථ දක්වන්නේ එහි එක් පැත්තකි. නොපෙනන පැත්ත ගැන අවධානය යොමු කළ යුතුව තිබේ.

නොබෝ කාලයකින් ජාත්‍යන්තරය තුළ වැඩ කිරීමේ කලාව වෙනස් වෙන බව තේරුම්ගත යුතුය. දැනටත් එයාර් බීඇන්ඞ්බී,  ඌබර් සහ ස්වයංකී‍්‍රය රොබෝ තාක්ෂණ පැමිණ තිබේ. ශ‍්‍රම වෙළඳ පොල පරිවර්තනය විය හැකි අතර නීති රීති වෙනුවට පුද්ගල හැකියාව මත නිදහසේ හුවමාරු වන වෘත්තීයවේදීන් බිහිවෙන්නට ඉඩ ඇත. අන්තර් ජාලය ඔස්සේ නොදන්නා සමාගම් වල පැවරුම් පැය ගණනට සම්පූර්ණ කර ආදායම් උපයා ගන්නට අවස්ථා දැනටමත් ලැබී ඇත. මෙවැනි සංකීර්ණ පසුබිමක් තුළ ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රමිකයා සහ ශ‍්‍රමය සම්බන්ධ පැවැත්ම සම්බන්ධයෙන් ගැඹුරු අවධානයක් යොමු කළ යුතුව තිබේ.

 

 

 

 

Advertisements