milinda-prashna

2016/08/03 – ලංකාදීප

ප‍්‍රංශ අගමැතිවරයා සහභාගී වූ ප‍්‍රසිද්ධ ජනහමුවක දී වාර්තා වූ සිද්ධියක් ජාත්‍යන්තරය තුර තරමක කලබැගෑනියක් ඇති කර තිබේ. එයට සහභාගී වූවෝ එරට ජනාධිපතිවරයාට හූ කියන්නට පටන්ගෙන ඇත. මෑත මාස දහඅට තුළ බරපතල ත‍්‍රස්තවාදී ප‍්‍රහාර තුනකට ගොදුරු වූ පැරිස් නගරය එයින් හෙම්බත්ව සිටී. සාමාන්‍යයෙන් නිදහස් සහ විවෘත සමාජය වික්ෂිප්ත තැනක් බවට පත්ව ඇත. ජනතාව ත‍්‍රස්තවාදය මැඩ පවත්වන්නට අසමත්වීම ගැන පාලකයන්ට දොස් තබන අතර ඔවුන්ගේ ක‍්‍රියා කලාපයට විරෝධය වශයෙන් මෙම හූ විරෝධය පැන නැග ඇති බව අනාවරණය වෙයි.

මෑත කාලය තුළ ලෝකයේ තැනින් තැන ජනතාව සෘජුව තම විරෝධය පාලකයන් වෙත පළ කරන ලද අවස්ථා ගණනාවකි. පැරිස් සිද්ධිය එයින් එකක් පමණකි.

හූ හඞ විශ්ව ව්‍යාප්ත සංඥාවකි. එයට භාෂා බේධයක් නැත. වචන හැසිරවීම වැනි ගැටලූ ඇති නොකරයි. වැදගත්ම කාරණය එහි සංඥාව තේරුම් ගැනීමයි. දඩයම් යුගයේ දී හූ හඞ සන්නිවේදනයකි. විපතකට පත්වූ, දඩයමක් සොයා ගත් අවස්ථාවක තමන්ගේ සගයන් කැඳවන්නේ හූ කියා බව ජන පර්යේෂණ දක්වයි. පසුව සමාජය දියුණු වන විට හූ සන්නිවේදනය මග දුර කියන මිනුම් දණ්ඩක් බවට පත්වෙයි. ‘‘හූවක දුර ආයිබෝවන්ඩ’’ කියන ව්‍යවහාරය අදටත් මෙරට දුර බැහැර ගමක භාවිතා වෙයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙරට හූ හඞ සංස්කෘතියක් බවට හරවන්නේය. එහි විශ්ව විද්‍යාලයේ සිසුන් තමන්ගේ මුද්‍රාව තබන්නේ හූවෙන්ය. පේරාදෙණිය වල ප‍්‍රසිද්ධ තැනක් වන අතර එහි පවතිවන නාට්‍ය යනාදී සංස්කෘතික අංශ වලට හූ තැබීම නුහුරු නුපුරුදු එකක් නොවේ. නමුත් පසුගිය දා එහි රඟ දක්වන ලද නාට්‍යයක තිබුණ සිපගන්නා දර්ශනයකට විරෝධය පළ කරන ලද සිසුන් එම නාට්‍ය අතරමග නතර කරන තෙක් සිය විරෝධය දක්වා ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි. දේශපාලනඥයෙකුට හූ කියන අතර එයට ප‍්‍රතිඋත්තර වශයෙන් හිටින කවියක් කියන ලද බව ද නොදන්නා අය අඩුය. හූ හඞ නැගෙන විට එහි අර්ථයක් තිබේ. පුද්ගලයෙකුට හෝ සංවිධානයකට විරුද්ධව හූ හඞ නැගෙනවිට එය කැමැත්තෙන් ද නොඑසේනම් අකමැත්ත දැයි දැන හැඳිනගෙන එයට අනුව හැසිරීම සාමාන්‍යයෙන් සිදුවන බව තේරුම් ගත හැකිය.

ආපසු හැරී බලන විට මානව විකාශය තුළ නායකයාගේ හූ හඞකට අවනත වූ සමාජ ව්‍යුහයක ලක්ෂණ පිළිබිඹු වෙයි. නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන විට එයට අවනත වූ සමාජය ජනතාව අපේක්ෂා කරන නායකත්වය සපයන්නට අසමත්වන විට නිර්දය විවේචනයට ගොදුරු වෙයි. නූතන ජන සමාජයේ ඇතැම් අවස්ථාවල නායකයන්ට හූ කියන්නට නැඹුරුවෙන්නේ එහි ප‍්‍රතිපලයක් වශයෙනි. හූ හඞ සන්නිවේදන ලක්ෂණයක් වූ යුගයක සිට සන්නිවේදනය ඉතාම දියුණු වකවානුවක තමන්ට නොගැලපෙන තැන් වල දී විරොධය වශයෙන් හූ කියන්නට පටන් ගැනීම ද ශාස්තී‍්‍රය විද්වතුන්ට පර්යේෂණයක යෙදෙන්නට හොඳ මාතෘකාවකි.

අතීතයේ දී නායකයන් සමීප නැති අතර ඔවුන්ගේ හැසිරීම සාමාන්‍ය ජනතාවට දැක ගත හැකි වූයේ නැත. නමුත් අද වන විට සමාජ සන්නිවේදන ජාලා සහ සියලූම දෙන අත ඇති සන්නිවේදන මෙවලම් හෙයින් නායකයන් ගේ හැසිරීම ඉතාමත් විවෘත තත්ත්වයකට පත්ව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාව නායකයන්ගේ හැසිරීම ඔවුන් ගන්නා තීරණ පමණක් නොව සමාජයේ තමන්ට නොරිසි දේ වෙනුවෙන් විරෝධය පළ කිරීම පහසුවන ස්වභාවය තුළ හූ හඞ නොයෙක් තැනින් ඇසෙන්නට ඉඩ තිබේ. හූ හඞ නගන පුද්ගලයන් නොව එයට පසුබිම හඳුනාගැනීම වැදගත් බව සඳහන් කිරීම අවශ්‍යය.

 

 

Advertisements