milinda-prashna

2016.07.20 – ලංකාදීප

අවධානයෙන් සමාජය දෙස බලන්න. වැඩි දෙනෙකුට ඇත්තේ  හදිස්සියකි. අනවශ්‍ය කලබලයකි. එය සමාජයේ විනය සහ හැදියාව සම්බන්ධව ප‍්‍රශ්න ඇති කර තිබේ. මෙයින් දශකයකට දෙකකට කලින් බැංකුව පෝලිම මතක ඇතිවාට සැක නැත. එය තමන්ගේ ගිණුමෙන් මුදල් ගන්නට හෝ තැන්පත් කරන්නට පැය ගණන් කාලය වැය කරන්නට සිදුවන කාර්යයකි. නමුත් අද එය ප‍්‍රසිද්ධ තැන් වල ස්ථාපනය කර ඇති ටෙලර් යන්ත‍්‍රයකින් සුළු මොහොතකින් කරගත හැකිය. කුඩා කුටියක කරන ගනුදෙනුව විනාඩියක් දෙකක් ඉක්මවා ගියහොත් එතැන පෝලිමේ ඉන්නා තවත් කෙනෙකුට දැනෙන නොරිස්සුම කොපමණ දරුණු එකක්ද? සමාජය එපමණකට හදිස්සිකාරයන් බිහි කර තිබේ.

පාරේ ගමන් කරන විට මාර්ග නීති ගැන හිතන්නේ නැත. වාහන අතරින් රිංගා එතැනින් මෙතැනින් පැන තමන්ගේ ගමන යන්නට හදිස්සියක් නැති කෙනෙකු සිටීද? වැඩි දෙනෙකු බලන්නේ කොතැනකින් හෝ රිංගා තමන්ගේ ගමන ඉක්මන් කරගන්නටය. විදුලි සංඥා එළිය වැටෙන්නටත් කලින් නලා ශබ්ධ වෙන, පොලිස් නිලධාරියෙකු වාහන හසුරවන විට එය දරා ගත නොහැකිව ඉක්මන් කරන්නට තැත් කරන සමාජයක් අද අප හමුවේ තිබේ.

බස් රථයකට ගොඩවන විට පෝලිමක් තිබේද? නැවතුමක සිටින මගීන් ගේ තක්සේරුව නැවතුමට පැමිණියේ අන්තිම බස් රථය බවය.  හයි හත්තය ඇති අය සෙස්සන් පෙරලාගෙන ඇතුලූ වෙන්නට තැත් කරයි. දරුවන් ද, වැඩිහිටියන් ද නොසලකා තම අරමුණ පමණක් දකින පිරිස පෙන්වන්නේ හදිස්සිය පමණක් නොව ආත්මාර්ථයේ තරමයි.

ඉතාම හදිස්සියෙන් බස් රථයට ගොඩවෙන මගීන්ට, එය ගමන් කරන්නේ බස් රියැදුරාට උවමනා වේගයෙන් බව දකින්නේ නැත. ඉතාම හදිස්සියෙන් කාර්යාලයට දුවගෙන පැමිණ අත්සන් කරන කාර්ය මණ්ඩලයට වැඩ කරන්නට ඉතාම හදිස්සියක් නැත. නීති නොතකා දරුවන් ද රැගෙන වේගයෙන් පාසලට ධාවනය වන පාසල් බස් රියක ඉන්නා දරුවන්ට ඉක්මනින් ඉගෙන ගෙන හොඳ පුරවැසියෙකු වෙන අදහසක් ඇත්තේ කලාතුරකින්ය. ඉතාම වේගයෙන් උගන්වා අවසන් කරන ගුරුවරයාට දරුවන් ලබන සාර්ථකත්වය ගැන තක්සේරුවක් නැති ආකාරයටම ඉතාම ඉක්මනින් ලෙඩ බලා බෙහෙත් තුණ්ඩුව ලියා රෝගියා ගැන අවධානය අත්හරින වෛද්‍යවරයාට ද රෝගීයාගේ ඉරණම ගැන සම්පූර්ණ අදහසක් නැත. මෙම සියලූ පැති වෙන්වෙන්ව  විමසා බලන විට පෙනෙන්නේ ඉතාම හදිසි සමාජ ව්‍යුහයකි.

සමාජය තුළ සන්සුන් බවක් සැනසිල්ලක් ඇති කරන්නේ කෙසේද? හදිස්සිය අවසානයේ දී අපේක්ෂා කරන සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නට නොලැබෙන බව දක්වන්නේ කවර ආකාරයකටද?වේගයෙන් දුවන සමාජයකට සැනසිල්ලේ හෙමින් ගමන් කරන්නට යෝජනා කිරීම පහසු නැත. දුර්වල විනයක් සහිත සහ අනුන් ගැන හිතන්නට එතරම් වෙලාවක් නැති ආත්මාර්ථකාමීත්වයට පොදු යහපත ගැන හිතන්නට හුරු කිරීම ලෙහෙසි නැත. නමුත් වැදගත් කාරණය සැනසිල්ලයි. විවේකයෙන් සාර්ථකත්වය කරා ගමන් කිරීමයි.

පෝලිම කඩාගෙන බස් රියට නැගගෙන හදිස්සියෙන් බැංකුවට ගොස් වාරය එන තෙක් නොසිට එහි ඉදිරියට පැන එතැනින් මෙතැනින් රිංගා නිවසට අවශ්‍ය යමක් ද මිල දී ගෙන උයා පිහාගෙන කෑමෙන් ජීවිතයක් සම්පූර්ණ වෙන්නේ නැත. පිලිවෙලක් අවශ්‍යය. රිද්මයක් තිබිය යුතුය. ජීවිතය තුළ තිබිය යුතු කතාන්දරයකි. එය විඳින්නට විනා වේදනාවක් වෙන්නට ඉඩ දිය යුතු නැත. ලෝකයේ ඇතැම් සමාජ තුළ විනය හදන්නේ නීති වලින්ය. දඞුවම් වලින්ය. ශ‍්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාව තමන්ගේ ප‍්‍රවේශය ගැන අලූතින් හිතනන්ට අවශ්‍යය. තමන් ගැනම තක්සේරුවකට ගමන්කිරීම වැදගත්ය. හදිස්සියෙන් දිනාගත් දේ පමණක් නොව සැනසිල්ලේ අත් විඳින්නට ද සුදානම් විය යුතුය. එයින් ඇති කරන විනය සහ ආකෘතිය සංවර්ධනය විදහා දක්වන කැඩපතකි.

 

 

Advertisements