milinda-prashna

2016/06/29 – ලංකාදීප

පසුගිය සතියේ බි‍්‍රතාන්‍ය ජනමත විචාරණයේ ප‍්‍රතිඵල ජාත්‍යන්තර ප‍්‍රජාව විමතියට පත් කර තිබේ. එරට පුරවැසියන් අතුරින් යම් කොටසක් තුළ යුරෝපා සංගමයයෙන් ඉවත්වන තද අවශ්‍යතාවයක් තිබුණි. නමුත් ජනමත විචාරණ ප‍්‍රතිඵලය එය තහවුරු කරන එකක් විය හැකි යැයි මතුපිටින් පෙණුනේ නැත.  එරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ එනම් කන්සවටිව්, ලිබරල් සහ ලේබර් යුරෝපා සංගම් සාමාජිකත්වය අත් හරින තීන්දුවක සිටියේ නැත. එම දේශපාලන පක්ෂ ප‍්‍රතිපත්ති වශයෙන් යුරෝපා හවුලේ සාමාජිකත්වය පිළිගැනීමට සූදානමින් සිටියේය. නමුත් එම පක්ෂවල යම් කොටසක් එයින් වෙන්වීම වෙනුවෙන් පෙනී සිටියේය. ඒවායේ මතධාරීන් සහ තවත් කුඩා පක්ෂයක අදහස් ප‍්‍රබල තීරණයක් වශයෙන් ඉදිරියට පැමිණ තිබේ.

නායකත්ව දර්ශනය සහ ජනතා අදහස් අතර පරතරය පෙන්වන අවස්ථාවක් වශයෙන් මෙම ජනමත විචාරණයේ ප‍්‍රතිඵලය අර්ථ දැක්විය හැකිය. බි‍්‍රතාන්‍ය පුරවැසියන්ගේ බහුතරය හිතන්නේ කෙසේ ද යන්න එරට ප‍්‍රධාන දේශපාලන නායකයන් වටහා ගෙන සිටියේ නැත. එය පංති බෙදීමක් විය. යුරෝපා සංධානයේ සාමාජිකයන් වශයෙන් සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසියක් නැති බව පහල පංතියේ තීරණයයි. සමාජයේ ඉහළ ස්ථරය යුරෝපා රටවල් අතර කරන ගමන් බිමන්, එහි ආර්ථික වාසි සහ සමාජ ප‍්‍රතිලාභ ලබන නමුත් තමන් බදු ගෙවන්නන් පමණක් බව එරට සාමාන්‍ය ජනතාව තුළ තහවුරු වූ අදහසයි. යුරෝපා සංගමය හෙයින් බි‍්‍රතාන්‍යයට වාසියක් අත් වූ නමුත් එය තමන්ට ලැබුණ ප‍්‍රයෝජනයක් සේ සාමාන්‍ය පැලැන්තිය අවධානය යොමු  කළේ නැත.

යුරෝපා සංධානය රටවල් විසි අටක එකතුවකි. භාෂා විසි හතරක් කතා කරන රටවල් වල කලාපයක් නිර්මාණය වන්නේ දශක හතරක පමණ සාකච්ඡා, තීන්දු සහ තීරණ වල ප‍්‍රතිඵලයක් වශයෙනි. 1991 අවුරුද්දේ දී මෙම රටවල් තනි කලාපයක් වශයෙන් පොදු තීරණයකට එන විට ඉන්දියාව හා චීනය හැරුණවිට ලෝකයේ වඩා විශාලතම මිලදී ගැනීමේ හැකියාව සහිත වෙළඳපොල බවට පත්වන්නේ යුරෝ කලාපයයි. එහි ජනගහනය පමණක් නොව එම කලාපයේ රටවල වැසියන්ගේ තත්ත්වය අනුව ලෝක අවධානයට ලක්වන්නේ එහි ප‍්‍රජාවයි. තනි රටවල් වශයෙන් නොව සියලූ රටවල සහභාගීත්වයෙන් පොදු තීරණ ගන්නා විට එය බලවත් කලාපයක් බව ජාත්‍යන්තර ප‍්‍රජාව තේරුම් ගනී. බලවත් තැනක සිට ආපසු තනි රටක ආකෘතියක් වෙනුවෙන් තීරණ ගැනීම ගැන විමතියෙන් බලන්නේ එහෙයින්ය.

ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හිතන්නේ ලොකුවටය. එම පක්ෂ වල දේශපාලන නායකයන්ගේ දර්ශනය විශාලය. ඔවුන් හිතන, ඔවුන් සැලසුම් කරන අන්දම සාමාන්‍ය ජනතාව තේරුම් ගන්නවා ඇතැයි සිතන නමුත් එය එසේ නොවේ. සාමාන්‍ය ජනතාවට දැනෙන එදිනෙදා ප‍්‍රශ්න දේශපාලන නායකයන් සිතන තරම් පුලූල් ඒවා නොවේ. ඉහළ පැලැන්තිය යුරෝපා හවුල වැඩ සටහන යටතේ රටින් රට යමින් සාකච්ඡා පවත්වන නමුත් අපට ලැබෙන්නේ මොනවාදැයි ඔවුහු සිතති. ජනමත විචාරණයේ දී අනපේක්ෂිත සියුම් ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ එහෙයින්ය.

පාලකයන් සහ පාලිතයන් අතර පරතරය ගැන අවධානය යොමු කරන්නට මෙම සිද්ධිය එක් අවස්ථාවකි.ජනතා නියෝජිතයන් පොදු ජනතාවගෙන් දුරස්ථ විය යුතු නැත. දේශපාලන පක්ෂ සාමාන්‍ය ජනතාවට හැගෙන්නේ දැනෙන්නේ කෙසේදැයි තේරුම් ගැනීම වැදගත්ය. ලෝක නායකයන් වශයෙන් ජාත්‍යන්තරයේ පැවැත්ම ඉලක්ක කරගෙන දැවැන්ත අභියෝග වලට ගමන් කරන විට සාමාන්‍ය ජනතාවට ඒවා එදිනෙදා ගැටලූ වලට වඩා වෙනස් බරපතල කාරණා නොවේ. පොදු ජනතාව බලන්නේ තමන්ගේ ජීවිත පවතින තැනින් ඉහළට ඔසවන්නට ඒවා බලපාන්නේ ද යන්න ගැනය. යතාර්ථය තේරුම්කර දී මහජනතාව දිනා ගන්නට අවශ්‍යය. තමන්ගේ දර්ශනය තේරුම් කර දී සාමාන්‍ය ජනතාව සමග එකතුවී අභියෝග ජයගැනීම නායකත්වයක ලක්ෂණයකි. ඉගෙනගත හැකි පාඩම එයයි.

 

 

 

Advertisements