milinda-prashna

2016/06/08 – ලංකාදීප

මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ මීළඟ උපාධි ප‍්‍රදානෝත්සවය අවසන් වන විට මතු විය හැකි ස්වභාවය සම්බන්ධව ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ. මෑත වසර දෙක තුළ උපාධිධාරී තරුණන් හතලිස් පන්දහසක් විශ්ව විද්‍යාල මගින් බිහිකර ඇත. මෙම පිරිස අතරින් වැඩි දෙනෙකු රැකියා විරහිත  පුද්ගලයන් වශයෙන් සමාජයට එකතු වී සිටී. මෙම පිරිසට වෘත්තීය අවස්ථා සම්පාදනය කරන්නේ කෙසේද?

පවතින තරඟකාරී අධ්‍යාපන රටාව තුළ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ සීමිත පිරිසකි. උපාධිය හිමිවන විට රටට ලැබිය යුතු දැනුමෙන් පොහොසත් අලූත් ආකාරයකට හිතන්නට හැකි දක්ෂ මානව සම්පතකි.නිදහස් අධ්‍යාපන ක‍්‍රමය බිහිකරන උපාධිධරයන් පුද්ගලික අංශයට නොගැලපෙන පිරිසක් බව ප‍්‍රකාශ වෙයි. විදේශීය අධ්‍යාපනය හෝ පුද්ගලික අංශයේ ඉගෙනගත් දරුවන්ට තැන ලැබෙන ආකාරයට පුද්ගලික අංශය තුළ රැකියා නිර්මාණය වන බව පෙනේ. මෙරට විශ්ව විද්‍යාල වල දැනුම තරගකාරී ආර්ථිකයකට නොගැලපෙන තත්ත්වයට පත්ව ඇති අතර නූතන අභියෝග සමග සමාජයට ප‍්‍රවේශවන දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කරන්නේ කෙසේද? යන ගැටලූව මෙහි දී මතුවෙයි.

විශ්ව විද්‍යාලයෙන් පිටවන උපාධිධරයන් අතරින් සැලකිය යුතු කොටසක් රැකියාවක් නැති පිරිසක් බවට පත්වන විට අධ්‍යාපන ක‍්‍රමය තුළ ගැටලූවක් ඇති බව දැනේ.  උපාධියෙන් පසු රැකියාවක් සොයා ගැනීම අපහසු තැනට වැඩිපුරම පත්වන්නේ කලා උපාධිය හදාරා අවසන් කළ දරුවන් බව නිරීක්ෂණය කළ හැකිය. ඉංජිනේරු සහ වානිජ කළමණාකරණ සිසුන් යම් ආකාරයකින් ගලපා ගනී. මෙයට පසුබිම කුමක්ද? ජාත්‍යන්තර අධ්‍යාපන ක‍්‍රම දෙස බලන විට මෙරට අධ්‍යාපනයේ ක‍්‍රමය වෙනස්ය. පාඩම් කරන අන්දම නූතන විද්‍යාත්මක  ආකාරයකට නොවේ. දැනුම මනින්නේ කටපාඩම් කරන්නට දක්ෂ ආකාරය අනුව බව පෙනේ. අන්තර් ජාලය වැනි පැති වලින් තොරතුරු සොයා දැනුම වැඩි කරගන්නට විශ්ව විද්‍යාල දරුවන් සූදුනම් නැත. එහෙයින් පවතින ක‍්‍රමය තුළ බිහිවෙන්නේ නිර්මාණාත්මකව හිතන, විකල්ප ආකාරයේ තීරණගන්නා මානව සම්පතක් නොවේ. අනුකාරක සහ පොත පතෙහි සඳහන්  කරුණු කට පාඩම් කරගත් පිරිසකි. මෙම තත්ත්වය වෙනස් කරන තාක්කල් උපාධිධරයන්ගේ රැකියා හිඟයට උත්තරයක් ලැබෙන්නේ නැත.

රැකියා විරහිත උපාධිධරයන්ට අවස්ථා සම්පාදනය කිරීමෙන් තොරව මතු වෙමින් පවතින ස්වභාවයට මුහුණ දිය නොහැකිය. ව්‍යවසායකත්වය බිහි කරන හෝ පුද්ගලික අංශයට සුදුසු නිර්මාණශීලී උපාධිධරයන් බිහි කරන්නට අධ්‍යාපන ක‍්‍රමය සමත් විය යුතුය. නූතන ආර්ථික සහ සමාජ භාවිතාව තුළ එය කරන්නේ කෙසේද?

විශ්ව විද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන් මෑත භාගය තුළ වරින් වර බඳවා ගත්තේ රජයේ රැකියා වලටය. අවුරුදු කිහිපයක් තුළ රජයේ සේවය කරන පිරිස දෙගුණයක් තෙක් ඉහළ යන්නේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. රජයේ රැකියා වලට බඳවා ගත හැකි සීමාවක්තිබේ. එයට විකල්ප ආකාරයකට මෙරට ජාතික ආර්ථිකයේ නිශ්පාදන හා සේවා අංශ වලට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගලපා ගන්නේ කෙසේද? මෑත භාගයේ දී රට තුළ වේගයෙන් ප‍්‍රසාරණය වෙන්නේ සංචාරක ක්ෂේත‍්‍රයයි. ඒ ගැන අවධානය යොමු කරන්න අවශ්‍යය. ඉංගී‍්‍රසි උගන්වා මැද පෙරදිග ඇතුළු රටවලට යැවීම හෝ ලෝකයේ වෙනත් රටවල පරිවර්තනයට කලින් සිදුවූ ආකාරයට ත‍්‍රීවිලර් රැකියාව උපාධිධරයන්ට ගැලපෙන තැන් නොවේ.

 

 

 

Advertisements