milinda-prashna

2016/06/01 – ලංකාදීප

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම එක්තරා මතබේධාත්මක තැනකට අවතීරණ වී තිබේ. බහුතර කැමැත්තට ඉඩ දීම එහි හරයයි. නමුත් ජාත්‍යන්තරය තුළ ක‍්‍රමය පරිවර්තනය වෙමින් පවතින ආකාරය පෙන්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හරය හා දර්ශනය විකෘති වෙමින් පවතින බවය. අන්‍ය මතයට ඉඩදෙනු වෙනුවට තමන් ගේ දැක්මට එපිටින් ඇති සියලූම දේ යටපත් කළ යුතු අදහස් වශයෙන් දකින  බවක් පෙනේ. විකල්ප අදහස් යනු විරුද්ධවාදීන් ගේ දෝෂාරෝපණ වශයෙන් සලකන්නට පටන්ගෙන ඇත. විවිධ මත ඇති ජන සමාජ වෙනුවට බලය ඇති මතයට එරෙහි සියලූ දේ යටපත් කරන ව්‍යුහයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැඹුරු වෙමින් තිබේ.

දේශපාලන නායකයන් ක‍්‍රියා කරන්නට පටන්ගෙන් ඇත්තේ ගෝත‍්‍රික ලක්ෂණ අනුව බව නිරීක්ෂණය කළ හැකිය. ජාති, ආගම්, පන්ති ඒ අතරින් කිහිපයකි. එම කඳවුරු වලට ඇතුළු වන නායකයෝ එකී කඳවුරු වලට සම්බන්ධ නැති කොටස් පෙන්වන්නේ ‘‘යක්ෂයන් ’’ හැටියටය. තද අදහස් වලින් අන්‍යයන් ගේ මත හෙලා දකින දේශපාලනඥයන් ගේ හැසිරීම පෙන්වන්නේ එයයි. මැද මාවත වෙනුවට අන්තවාදය ඇති කරන්නට හේතුවක් වී ඇත.

ඇමරිකාවේ එය සිදුවෙමින් පවතී. සාධාරණ යුක්ති සහගත දර්ශනයක් ඇති නායකයන් වෙනුවට ජන ආකර්ශනය වෙනුවෙන් අසත්‍ය කියන. අනුන් හෙලාදකින, වෛරය වපුරවන නායකත්වයකට තැන ලැබී තිබේ. යුරෝපයේ සිදුවන්නේ ද එයයි. ආසියාවේ ද එවැනි යමක් සිදුවෙමින් පවතී. ශ‍්‍රී ලංකාවේ ද දේශපාලන නායකයන් ගමන් කරමින් සිටින්නේ අන්‍ය අදහස් වලට ඉඩ නොදෙන, මතය වෙනුවට පුද්ගලිකත්වයට පහර දෙන ව්‍යුහයකටය. එය උත්තරිතර බව දක්වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණයක් නොවේ.

මෙම ප‍්‍රවනතාවය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දුර්වලතාවයකි. මතු පිටින් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විඳින හුරුවකට කොටු වීමේ අවසානය මෙයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා එය ආරක්ෂා කරන්නට ඇති නීති රීති වලට වඩා සම්ප‍්‍රදායට ගරු කරන ලක්ෂණ වත්මන් දේශපාලන නායකත්වයට නුහුරුය. මූලික රීති උල්ලංඝනය නොවෙන ලෙස මිනිස් නිදහස අගයමින් හැසිරීම තාක්ෂණික සමාජයට පුරුදු නැත.

සමාජය හදන ක‍්‍රමවේදය කුමක්ද යන්න ගැන නායකයන් අලූතින් සිතන්නට අවශ්‍යය. රට වෙනුවෙන් රටේ පැවැත්ම වෙනුවෙන් ක‍්‍රියා කළ යුතු පවතින රාමුවට අනුව නොවන බව නයකයන් තේරුම්ගත යුතුව ඇත. තනි පුද්ගලයෙකුට උවමනා ආකාරයට ලෝකය හැදුනා නමු එහි ස්වභාවය මේ අන්දමේ එකක් නොවන්නට ඉඩ තිබිණ. විකල්ප මතයකට ඉඩ නොදෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතාමත් වේගයෙන් ලං වෙමින් සිටන්නේ ඒකාධිපතිවාදී පැවැත්මකට බව පැහැදිලිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත නිසි මගට ගන්නට සමත් සමාජ පවතින ස්වභාවය විමර්ෂණාත්මකව සලකා බලමින් සිටී. නමුත් එවැනි තුලනාත්මක විවේචනයකට යා නොහැකි සමාජ උත්තර සොයන්නේ ලේ ගංගා වලින්ය. එක පරම්පරාවක් උත්තරය වෙනුවෙන් බිලි දෙමින්ය. අප රටේ ඉතිහාසය දෙස ආපසු හැරී බල න විට නිදහසින් පසු කාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ ඇති වූ කැරළි පෙන්නුම් කරන්නේ එයයි. කැරළි මැඩ පවත්වන විට විකල්ප අදහස් ඇති හොඳම මානව සම්පත රටට අහිමි වී තිබේ. ඉදිරියට ගමන් කරන පියවර ගණනක් පාසා රට ගමන් කර ඇත්තේ පෙරට නොවේ.

සැනසිලි සමාජයක් වෙනුවෙන් අද පරම්පරාවේ නායකයන්ට බලවත් සහ දුෂ්කර කැපවීමක් කරන්නට සිදුව තිබේ. ගමන් කරමින් සිටින අන්තවාදී සහ තද අදහස් ඇති ව්‍යුහය මග හැර මධ්‍යස්ථ අදහස් සහිත සංවාදයකට ඇතුළු විය යුතුය. වර්තමානය දෙස ඉතිහාසයේ අත්දැකීම් වලින් සලකා බලා අනාගතය වෙනුවෙන් ගන්නා තීරණ විශිෂ්ඨ යුගයක් ඇති කරන බව නිසැකය.

 

 

Advertisements