milinda-prashna

2016/05/25 – ලංකාදීප

කැළණි පාලම එක්තරා වකවානුවක සමාජ සංකේතයකි. මහා වැසි සමයෙහි එහි ආසන්නයේ ජීවත්වූ ජනතාව ගඟ ගලා ජන ජීවිතය අර්බුදයකට පත්වන විට හැසිරෙන්නේ කෙසේදැයි විචාරාත්මක ද්‍රෘෂ්ටියකින් බලන්නට කැළණි පාලම නාට්‍යයට හැකිවිය. දුකට පත් මිනිසුන්, ඔවුන්ගේ භාව ප‍්‍රකාශන, දේශපාලනඥයන්, නිලධාරීන් ගේ හැසිරීම එහි නිරූපනය කරන ලද්දේ යථාර්තය ඒත්තු ගන්වමින්ය. පැල්පත් ජීවිත ගත කළ ඔවුන්ට ජීවිතය හැරෙන්නට අත් හරින්නට වැඩි යමක් එකල තිබුණේ නැත. නමුත් මෙදවස කැළණි ගඟ ගලා ජන ජීවිතය ව්‍යාකූල කරන විට එයට මුහුණ දුන් ජනතාව අති විශාල සමාජ ආර්ථික පරිහානියකට ගොදුරු විය. එයට හේතුව ජීවිත කාලයක් උපයාගත් සියලූ දේපොල අහිමි වීමයි.

දියුණු වෙමින් පැවැති රටක දුප්පත් ජන කොටසක මට්ටමක සිට මැදි ආදායම් රටක යම් ප‍්‍රමාණයක යහපත් ආර්ථික වටපිටාවක ජීවත්වන ජන කොටසක් දක්වා පරිවර්තනය විය. එහිදී ඔවුන් පරිහරණය කරන ලද දේ එකිනෙකට වෙනස්ය. සෑම නිවසකම ගෘහ භාණ්ඩ, නිවෙසට අදාල උපකරණ, විදුලි මෙවලම් සහ යාන වාහන යනා දී වශයෙන් එකිනෙකට වෙනස් පරාසයකය. අයහපත් කාලගුණය මෙම සියලූම දේ පැහැර ගත් අතර ගංවතුරින් යට වූ සෑම නිවසකම අලාභය මතු පිටින් පෙනෙන ආකාරයට වඩා වෙනස් බව අවබෝධ කරගත යුතුය. බත් පැකැට් සහ ඇඟළුම් බෙදන ආකාරයේ උපකාර දෙස අවඥාවෙන් බලන්නට ඇතැම් කොටස් නැඹුරු වූයේ එහෙයින් බව තේරුම් ගැනීම වැදගත්ය.

ස්වභාවික විපත් කොතැන කවර ආකාරයකට මතුවී අපහසුතා ඇති කරන්නේ දැයි නිවැරදිව කියන්නට හැකියාවක් නැත. නමුත් අනුමාන කර විපත් අවම කරගන්නට තාක්ෂණය දියුණුය. දේපොල ආරක්ෂා කරගත නොහැකි අවස්ථාවල පවා ජීවිත ආරක්ෂා කරගන්නට නවීන තාක්ෂණය ඉවහල් වී තිබේ.

ශ‍්‍රී ලංකාව මැදි ආර්ථික මට්ටමක රටක් වශයෙන් ස්වභාවික විපත් හමුවේ තාක්ෂණයෙන් උපරිම ප‍්‍රයෝජන අත්පත් කරගන්නේ කෙසේදැයි අවධානය යොමු කරන්නට අවශ්‍යය. දුගීකමින් අත් මිදෙන්නට කරන ලද ආයෝජනය යම් ප‍්‍රමාණයකට සාර්ථක වී ඇති අතර මෙරට පොදු ජනතාව දල්වන ලද අපේක්ෂා සහිත සමාජයක ජීවත්වන පුරවැසියන් බවට පත්ව සිටී. මෙතැන් සිට ඉදිරිය බලා ගමන් කිරීමේ දී ස්වභාවික විපත් ගැන විද්‍යාත්මක අවධානයකින් සිටින්නට සූදානම් විය යුතුය. රැකවරණය සහ ආපදා කළමණාකරණය ගැන වෘත්තීය ආකාරයකට ක‍්‍රියාකරන්නට අවශ්‍යය. ස්වභාවික විපත් හමුවේ ගැලවීමේ හමුදාවක් වශයෙන් ක‍්‍රියා කරන්නට රටට ඇති හැකියාව ප‍්‍රමාණවත් නැති බව අවබෝධ කරගත හැකිය. මෙහි දී පුනරුත්තාපනය සහ රක්ෂණය ඉතාම වැදගත්ය. ගත කරමින් සිටි ජීවිතය කරා විපතට පත්වූවන් ඔසවා තබන්නට පුනරුත්තාපන වැඩසටහන් ප‍්‍රයෝජනවත් වෙයි. රක්ෂණය වැදගත් වන්නේ අහිමි වූ දේපොල නැවත හිමි කර ගැනීමේ ක‍්‍රියාවලිය වෙනුවෙන්ය.

අධික වැසි, කඳු නායයාම් සහ ගංවතුර හමුවේ රටට අත්විඳින්නට සිදුවූ බරපතල තත්ත්වය සමාලෝචනය කර සංවාදයක් කළ යුතුය. මැදි ආදායම් රටක පුරවැසියන් වශයෙන් විපතකට පත්වන පොදු ජනතාව දෙස බැලිය යුතු ආකල්ප පවා වෙනස් එකකි. ඔවුන් වෙත සමීප විය යුතු ඔවුන්ගේ හානිය ගැන අවබෝධයක් ඇතිවය. නිරුප‍ද්‍රිත යුගයක් වෙනුවෙන් ජන සමාජය ගත යුතු තීරණය එයයි.

 

 

 

Advertisements