milinda-prashna

2016/05/18 – ලංකාදීප

කාලගුණ විපර්යාස සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට ශ‍්‍රී ලංකාව පසුගිය දා අත්සන් කළේය. එම සම්මුතිය අනුව පරිසර හිතකාමී සැලසුම් වලට ගමන් කරන්නට රට එකඟත්වය පළ කර ඇත. ගෝලීය උණුසුම ඉහළ යන්නට හේතුවන කාරණා වලින් වැලකී සිටින්නට රාජ්‍යයක් වශයෙන් වගකීම භාරගෙන තිබේ.එය ඉතාම වැදගත් අදහස් ගණනාවකින් සමන්විතය. එයින් පෙනී යන්නේ පරිසරය සම්බන්ධයෙන් පුලූල් අවධානයක් යොමු කරන්නට රජය සූදානම් බවය. පාරිසරික විශේෂඥ අදහස් නිතර පෙන්වා දෙන්නේ පරිසරයට එකඟ ආකාරයට ජන ජීවිතය පවත්වා ගත යුතු බවය. ජනමාධ්‍ය ඒ බව පෙන්වා දෙන්නේ තද අවධානයක් සහිතවය. නමුත් මෙයින් මාස කිහිපයකට කලින් තිබුණ අධික උශ්ණත්වයකින් යුතු පරිසරය අද වන විට තද වැසි සහ ගංවතුර තර්ජන ඇති කරන තැනට පත්ව තිබේ.

දින කිහිපක් තද වැසි සහිත කාලගුණය මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් අසරණ කර ඇත. නාය යාම සහ ගංවතුර ජීවිත ගණනාවක් බිලි ගෙන තිබේ. එය ඉතාමත් කණගාටුදායක අවස්ථාවකි. ජීවිතයක වටිනාකම ගැන මානව සංහතිය තුළ අති විශාල උනන්දුවක් ඇති අවස්ථාවක මෙවැනි විපත් පිටුදැකිය යුතුය.කාලගුණ වෙනස්කම් ගැන අවධානයට තාක්ෂණය බලවත් පිටිවහලක් වී තිබේ. ඉතාමත් දියුණු මෙවලම් උපයෝගී කරගෙන ජගත් ප‍්‍රජාව හදිසියේ සිදු විය හැක්කේ කුමක්දැයි අවධානයෙන් සිටී. මහ වැසි වැටෙන, ගිණි කඳු විදාරනය වන, අධික සුළං හමන බව කල් ඇතිව දැනගන්නට හැකියාව ලැබී තිබේ. ගංගා පිටාර ගලන, පමණක් නොව කඳු නාය යන බව කල්තබා දැන ගැනීමෙන් විපත් වලකාගන්නට හැකියාව ලැබී ඇත. ජනගහනය වැඩි වන විට ස්වභාවික තත්ත්ව වෙනස්වන අතර එය මනුෂ්‍යයාට බලපාන ආකාරය සොයා බලා වහා ප‍්‍රතිකර්ම කරන්නට දියුණුවට පත් ලෝකය අවස්ථා සම්පාදනය කරගනිමින් සිටී. මිනිස් ක‍්‍රියාකාරකම් වධිමත්ව සහ පරිසරයට උචිත ආකාරයට හසුරුවන ලෙස කළමනාකරණය වන්නේ ද ඒ අනුවය.

කාලගුණ විපත් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති අනුව ක‍්‍රියා කරන්නට සූදානම් වන ශ‍්‍රී ලංකාව ඒ සඳහා ජාතික සැලැස්මක් අනුගමනය කිරීම වැදගත්ය. මෙරට භූමිය සහ මානව සම්පත නිසි ලෙස කළමණාකරනය කිරීම එහිලා ඉතාම අවශ්‍යය. අද වන විට අනාවරණයවන කරුණු වලට අනුව විපත්වලට බලපා ඇත්තේ ජනතාව අනතුරු ඇඟවීම් නොසලකා තම පැවැත්ම සකස් කරගැනීමයි. දැඩි අවදානම් කලාප වල පදිංචි වී සිටින අතර ගං ඉවුරු සහ අනාරක්ෂිත ස්ථාන ගැන කරන විද්‍යාත්මක කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැත.

ශ‍්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් පරෙස්සමෙන් සොයා බලා මිනිස් වාසයට සුදුසු තැන් නිශ්චය කිරීම පහසුය. නාගරික ප‍්‍රදේශ පමණක් නොව වකා කටයුතු වලට සුදුසු සහ කර්මාන්ත වලට ගැලපෙන තැන් වෙන් කළ හැකිය. ජලාශ ආශි‍්‍රත නගර සහ කඳුකර ප‍්‍රදේශවල ජන ජීවිතය නැවත සකස් කරන්නට බැරිකමක් නැත. සියලූම නගර නැවත සැලසුම් කර ඉදිරි සියවසට ගැලපෙන පරිදි සකස් කරන්නට හැකියාව තිබේ. මේ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි උවමනාවක් පමණකි.

හැමදාමත් ගංවතුරට යටවන සහ නාය යන තැන් වලින් ජනතාව ඉවත්කර ජීවත්වන්නට සුදුසු තැනි වල අලූත් නගර ඉදිකළ හැකිය. මිනිස් ක‍්‍රියාකාරකම් නිසා පොලව කනින, පාංශූ ඛාදනයට හේතුවන තැන් සොයා බලා ඒවා ප‍්‍රසිද්ධ කරන්නට හැකියාව ලැබේ. කුඩා රටක් හෙයින් එක සැලැස්මකට ප‍්‍රතිපත්ති සම්පාදනය කළහොත් ස්වභාවිකත්වය ආරක්ෂා කරගෙන ජන ජීවිතය නගා සිටුවන්නට නොහැකියාවක් නැත. අවශ්‍ය කරන්නේ ඒ වෙනුවෙන් කැපවීම පමණකි. ස්වභාවික විපත් වලට මුහුණ දෙන, එයින් ජන ජීවිතය අසරණ වී ඇති මෙවන් අවස්ථාවක එය කළමණාකරණය කරන නිසි වැඩ පිළිවෙලක අවශ්‍යතාවය සාකච්ඡුා කිරීම රටට ඉතාම වැදගත්ය.

 

 

 

Advertisements