milinda-prashna

2016/05/11 – ලංකාදීප

දකුණු ඉන්දියාවේ කදිනම්කුලම් හි ශ‍්‍රී මහාදේව් කෝවිල මේ දිනවල ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති තැනකි.  කුමාරපුරම් හි භාග්‍යවතී දේවාලය ද ඒ හා සමාන ආකාරයට ලෝක ජනමාධ්‍යයේ මාතෘකාවක් වී තිබේ. කෝවිල් පරිපාලන අංශ ගෙන ඇති තීන්දු මෙම පසුබිමට හේතුවයි. කදිනම්කුලම් කෝවිල පසුගිය උත්සවය දක්වා අලි ඇතුන් දහ අටදෙනෙකු යොදවාගෙන මහත් භක්තියෙන් දේව ප‍්‍රතිමා වීදි සංචාරය කරවා ඇත. මේ අවුරුද්දේ උපයෝගී කරගන්නේ එක අලියෙකි. ලබන වසරේ සිට එය සම්පූර්ණයෙන්ම නතර කරනු ඇත. භාග්‍යවතී දේවාලය අලි ඇතුන් ගෙන යන දේව ප‍්‍රතිමා සංචාරය කරනු සඳහා මිනිසුන් ඔසවාගෙන යන දෝලාවක් නිර්මාණය කර තිබේ. මෙම සිද්ධි වලින් පෙන්වන්නේ සම්ප‍්‍රදාය වෙනස් කරන තරමට සත්ව කරුණාව බලපෑමක් වී ඇති බලවත් ආකාරයයි.

හිංසනය වලක්වන සහ සියලූම සත්වයන් කෙරෙහි කරුණාවෙන් සලකන්නට ප‍්‍රවනතාවක් ඇතිව තිබේ. එය එක්තරා උසස් ලක්ෂණයක් දක්වා ඉහළටම පැමිණ ඇත. දකුණු ඉන්දියාවේ දේවාල තමන්ගේ උත්සවයේ දී විලංගු සහිතව අලි ඇතුන් භාවිතා කිරීම පවා අත් හැර දමන්නට තීරණය කරන්නේ ඒ අනුවය. දේවාලයේ පූජකයන් පමණක් නොව ඒවා පාලනය කරන අධිකාරීන් ද දේවෝපහාරය වෙනුවට සතුන්ගේ අයිතිය ගැන හිතන්නට පටන්ගෙන තිබේ. එය ජනතාවගේ ප‍්‍රසාදයට ද ලක්වන කාරණාවක් වී ඇත.

ගහ කොළ වන සතුන් මිනිසා උදෙසා නොව මිනිසුන් ද සමග එකට ජීවත්වන කොටසක් බව තීරණය කරන සමාජය සතුන්ට පීඩාව, හිංසනය වෙනුවට සතුන් ගේ ගැන කතාකරන අතර එය උසස් මානුෂිකත්වය බවට ද දක්වන්නේය. ලෝකය දියුණුවන විට ආකල්ප වෙනස් වෙයි. සිතුම් පැතුම් වෙනත් ආකාරයකට ක‍්‍රියා කරයි. සංස්කෘතික අංග සහ සම්ප‍්‍රදායට ද අභියෝග කරන මට්ටමට පැමිණ ඇත.

ශ‍්‍රී ලංකාවේ ද ජන සමාජය සත්ව හිංසනය ප‍්‍රතික්ෂේප කර සතුන් ගේ අයිතිවාසිකම් ගැන කතාකරන්නට පටන්ගෙන තිබේ.දීර්ඝ කාලයක් මහනුවර දළදා මාලිගාවේ කරඞුව වැඩමවන ලද රාජා ජනතා සත්කාරයට ලක්වෙයි.  ජීවත් වූ රාජා පමණටම මිය ගිය රාජා ද බොදුනුවන් තුළ ගෞරවය ලබයි. මෙරට පෙරහර වල අලංකාර සළු පිළි හැඳ විනයානුකූලව බර අඩි තබමින් ගමන් කරන අලි ඇතුන් සංස්කෘතියෙහි කොටසකි. අලි ඇතුන් නැති පෙරහරක් ගැන සංවිධායකයන්ට හිතන්නට නොහැකි පමණක් නොව ඒවා නරඹන්නට ද බැතිමතුන් උනන්දු නොවනු ඇති බව නිසැකය. දකුණු ඉන්දියාවේ දේවාලයක අලි ඇතුන් නැති පෙරහර පවත්වන නමුත් මේවා අපට ගැලපෙන ඒවා ද යන්න සලකා බැලිය යුතු ප‍්‍රවේසමෙන්ය. අනාදිමත්  කාලයක සිට ජන ජීවිතය සමග බද්ධ වී ඇති සහ බොදුනුවන්ගේ දර්ශනය හා පැවැත්ම අනුව හිංසනයක් සම්බන්ධව කිසිදු චේතනාවක් නැති උතුම් ක‍්‍රියාවකට සම්බන්ධ කර ගැනීම සලකා බැලිය යුතු වෙනත් ආකාරයකින්ය.

දළදා වහන්සේ වඩමවන මහනුවර ඓතිහාසික මහා පෙරහර සියලූ සංස්කෘතික අංහ වලින් පොහොසත් එකකි. එක් එක් ජන කොටස් වලට අනන්‍ය වාදක, ගායන සහ නර්තන  අංග එයට එකතු වෙන්නේ බුද්ධ වන්දනාව ගෞරවයක් වශයෙන් සලකමින්ය. එහි වතාවත පමණක් නොව අලංකෘත භාවය විඳින්නට ලෝකයේ නොයෙක් රටවලින් පැමිණෙන පිරිස ද එය සුවිශේෂී උත්සවයක් සේ දකිති. නමුත් ජාත්‍යන්තරයේ සිදුවෙමින් පවතින දේ පමණක් නොව සංස්කෘතික අංග අභියෝගයට ලක්වීම තේරුම් ගත යුතුය. ආකල්ප වෙනස්වන පමණක් නොවසමාජ වටිනාකම් සම්බන්ධ අලූත් අර්ථකතන එකතු වෙමින් පවතින ආකාරය ද විමසා බැලීම වැදගත්ය.

 

 

 

 

Advertisements