milinda-prashna

2016/04/27 – ලංකාදීප

පසුගිය උත්සව සමය අනතුරු බහුල වකවානුවක් ඇති කරන ලද බව මාධ්‍ය තොරතුරු අනාවරණය කළේය. සතුටින් නෑ ගමන් යන්නට ගිය දරු පවුල් වලින් ඇතැමෙකු ගමන අවසන් කළේ දුක්මුසුව බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව හදිස්සියයි. නිවී සැනසිල්ලේ යා යුතු ගමන මහා කලබලකාරී එකක් කරගැනීමයි. සුළු මොහොතක ප‍්‍රමාදය ජීවිත අවදානමට පත් කරන අතර එය වාහනයේ ගමන් කරන අය පමණක් නොව මහා මාර්ගය පරිහරණය කරන සෙසු අය ද අනාරක්ෂිත කරන්නකි.

වාහන අනතුරු අවම කරගැනීමට මහත් උත්සාහයක් දරමින් සිටී. නමුත් දිනෙන් දින වැඩිවෙනවා විනා අඩුවීමක් නැත. නීතිය පමණක් නොව විකල්ප ක‍්‍රියාමාර්ග කෙරෙහි යොමුවිය යුතු තීරණාත්මක තැනකට පත්ව ඇති බව පෙනේ. ඉකුත් උත්සව කාලයේ සැලකිය යුතු කොටසක් මාර්ග අනතුරු හෙයින් තුවාල ලැබූ අතර එවැනි සිදුවීම් පාලනය කර ගත නොහැකි තැනට පත්වන්නේ නම් එය බරපතලය. උත්සව කාලයට පමණක් නොව වසරේ සෑම දිනයකට රිය අනතුරු වලක්වා ගැනීමේ උදෙසා තද විනයක් තිබිය යුතුය. මාර්ග අනතුරු වලක්වා ගැනීම පමණක් නොව වාහන අනතුරු ගැන සමාජය ඉගෙනගත යුතු පාඩම ගැන ද අලූතින් හිතන්නට අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ මාර්ග අනතුරු වැඩිවීමට බලපා ඇති කාරණා ගණනාවකි. අධික වාහන තදබදය පමණක් නොව මාර්ග වල තත්ත්වය නොසලකා වාහන හැසිරවීමට රියැදුරන් ගන්නා උත්සාහය ද එයට යම් ප‍්‍රමාණයකට වගකිව යුතුය. අනතුරකට පසු සිද්ධිය වූ ස්ථානයට එකතුවන පිරිස ගේ උත්සාහය රිය පදවන ලද තැනැත්තාට අඩන්තේට්ටම් කිරීමටය. එය නුසුදුසු ක‍්‍රියාවකි. නීතිය ද කරන්නේ වරදකරු සොයා දඬුවම් කිරීමට බව පැහැදිලිව පෙනේ. නමුත් කරන ලද වරද සම්බන්ධයෙන් අවබෝධයක් ජනිත කර ආකල්ප වෙනසක් ඇතිකරන්නට යම් ප‍්‍රයත්නයක් ගැනීමට සුදුසු බව යෝජනා කළ යුතුය. වාහනය පදවන විට සැලකිල්ලකින් එය කරන්නට රියැදුරන් පොළඹවන්නට එය හේතුවක් විය හැකිය.

අනතුරක් කරන ලද වාහනය පදවන ලද රියැදුරු නීතියෙන් වරදකරු කරන අතරතුර කරන ලද වරද ගැන අවබෝධයක් ඇති කරන පසුබිමක් ඇති කිරීම වැදගත්ය. එය දඬුවමට වෙනස් එකකි. වාහන අනතුරක වරදකරුවෙකු  හදිසි අනතුරු වාට්ටුවක කිසියම් කාලයක් ස්වේච්ඡාවෙන් සේවය කරන්නට නියම කළ යුතුය. එසේ කිරීමෙන් අන් කෙනෙකුගේ වේදනාව තේරුම්ගත හැකිවනු ඇත. එයින් ඇතිවන අවබෝධය මෙරට වාහන පදවන රියැදුරන් යම් ප‍්‍රමාණයකට යහපත් පුද්ගලයන් බවට පත්කරන්නට ඉඩ සැලසේ. අධිකරණයේ දී සුළු වරදකරුවන් වන අය අතරින් කොටසක් ප‍්‍රජා සේවා සඳහා යොමු කිරීම අලූත් දෙයක් නොවේ. යම් වරදක දී ප‍්‍රජා සේවයට නියම වූ විට එය ඔවුන්ගේ චරිත ශෝධනයට ද ඉවහල් වන බව ජාත්‍යන්තරයේ පවා පිළිගැනීමයි. මෙරට අධිකරණ වල දී ද, බරපතල නොවන වැරදි වලට දඬුවමක් වශයෙන් ප‍්‍රජා සේවාව නියම කරන්නේ අවබෝධය ඇති කරගන්නට පහසුවන මගක් වශයෙනි.

අනතුර කෙබඳු සහ කාගේ වරදකින් සිදුවුවත් අවසානයේ දී රෝහල්ගත වෙන්නේ රෝගියෙකි. මුහුණ දුන් අනතුරේ ස්වභාවය අනුව අවයව බිඳී, බරපතල ශල්‍යකර්ම වලට මුහුණ දී සෑහෙන කාලයක් රෝහල් ගතව සිටින්නට සිදුවෙයි. එය ඉතා වේදනාකාරී එකකි. වාහන පදවන රියැදුරන් අනතුර ගැන දන්නා බව තේරුම්ගත හැකි නමුත් රෝහලක වේදනාවෙන් පසුවෙන රෝගියෙකුගේ ස්වභාවය හොඳාකාරවම දන්නා බවක් පෙනෙන්නේ නැත. වාහන අනතුරක දී දඬුවම් ලබන රියැදුරන් රජයේ රෝහල්වල රෝගී සත්කාරක කාර්යය වෙනුවෙන් යොමු කළ යුතුය. ඒ සඳහා නීති වෙනස් කළ හැකිය. අධිකරණයෙන් නියම කරන ලද කාලය තුළ අනතුරු වලට මුහුණ පෑ රෝගීන් ඇසුරෙහි ජීවත්වන විට ජීවිතයක වටිනාකම ගැන අවබෝධය ඇතිවන අතර වාහනයක් පදවන සෑම අවස්ථාවක දීම එය අමතක නොවන අත්දැකීමක් විය හැකිය.

 

 

 

Advertisements