milinda-prashna

2016/04/13 – ලංකාදීප

අලූත් අවුරුදු උත්සවය සංස්කෘතික එකකි. එහි නිමිත්ත සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමය. නමුත් අවුරුදු උත්සවය තුළ දර්ශනයක් තිබේ. අස්වනු සරුසාර වී අටුකොටු පුරවා ගැනීමෙන් පසු ලැබෙන විවේකයේ දී ප‍්‍රිතියෙන් ගත කිරීමය. වැඩ කරන ජන කොටසට අලූත් අවුරුද්ද අලූතින් හිතන්නට, එහි අවස්ථාවක් තිබේ.  නිති පතා වෙහෙස මහන්සි වෙන සහ නොනවත්වා වැඩ කරන පිරිස දවසක් දෙකක් නිවී සැනසිල්ලේ ගත කරන වකවානුවකි.

අවුරුදු නැකැත් අනුව නොනගතය සියලූ වැඩ අත් හරින කාලයකි. අලූතින් පටන් ගැනීමට පේ වෙන නිදහස් අවකාශයකි. නැකැත් නැති හෙයින් පුණ්‍ය කටයුතු වල නිරතවීම මැනවි, යනුවෙන් නැකැත් චාරිත‍්‍රවල සඳහන් වෙයි. ආගමික කටයුතු වල නිරතවීම පමණක් මෙයින් අදහස් කරන්නේ දැයි විමසා බැලීම සුදුසුය. වසරකට වතාවක් පවුලේ සියලූ දෙනා එකතුවී අලූත් අවුරුදු ආශ්වාදයෙන් ගත කරන කාලය කළඑළි නොඑසේනම් අලූත් පිළිවෙලක් ගැන හිතන්නට වෙන් කිරීම ද වැඩදායකය.

ආර්ථික ද්‍රෘෂ්ඨි කෝණයකින් බලන විට අලූත් අවුරුද්ද තුළ නිෂ්පාදනය, ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව සම්බන්ධ සියලූ ගුණාංග එකතු වී තිබේ. පරම්පරාවෙන් පරම්පරාවට අනුගමනය කරන සංස්කෘතික දායාද ආරක්ෂා කරන අතරතුර මතු පරපුර වෙනුවෙන් තහවුරු කිරීම සම්බන්ධව අලූතින් හිතන්නට සූදානම් වීම සුදුසුය. කලින් පරම්පරාව අලූත් අවුරුද්ද සමරන්නේ එක කන්නයක අස්වනු ගෙට ගෙන ඉදිරි කන්නයට ද, ගොවිතැන් කිරීමෙන් අනතුරුවය. එදා සිට මෙදා දක්වා ගොවැතැන් කරන ජන කොටස ජනගහනයේ සිමිත එකක් බවට පත්ව තිබේ. ගොවිතැනෙන් යැපුන පරම්පරාවේ දරුවන් අද ගොවි බිමේ නැත. දරුවන්ට එයින් උපයන දේ ප‍්‍රමාණවත් නැත. වැඩිපුර උපයන්නට නම් අලූත් කර්මාන්ත සහ සේවා අංශ වලට නැඹුරු වෙන්නට ඔවුන්ට සිදුවී ඇත. ආදායම වැඩි, ඉහළ ආදායමක් පහසුවෙන් උපයාගෙන උසස් ජීවන මට්ටමක් පවත්වාගෙන යන අපේක්ෂා සහිත නව පරපුර ගොවිපොලෙන්  නික්ම පැමිණ ඇත්තේ කොතැනකටද?

ආර්ථික අවස්ථා සොයා නගරයට පැමිණ ඇති තරුණ පෙළ නතරවී සිටින්නේ කොතැනද? අලූත් අවුරුදු උත්සව අවසානයේ නැවත රැකී රක්ෂා සදහා පිටත්ව යන විට අවධානයට යොමු කළ යුතු කාරණය එයයි.වී ගොවිතැන කන්න දෙකකි. කන්න දෙක තුළ ද වැඩ කරන දින ගණන සීමිතය. බිම සකස්කර වී වැපිරිමෙන් පසු ගොවියා කරන්නේ වගා බිම රැක බලා ගැනීම පමණකි. එම කාලය තුළ තදින් වෙහෙස වෙන්නට උවමනාවක් නැත. මෙම කාලයේ දී තවත් නිෂ්පාදන කාර්යයක නිරත වුවහොත් ගොවිතැන පාඩු එකක් නොවේ. ගොවිතැන පාඩු බව කියන අතරතුර අද තරුණන් ගේ උත්සාහය ජිවත් වෙන්නට ත‍්‍රීවිලර් එකක් මිල දී ගැනීමය. ගොවිතැනෙහි නිරත පිරිස සමස්ථ ජනගහනයම නොවන ආකාරයට ම ත‍්‍රීවිලර් රස්සාවෙන් ජීවත්වන්නට අරමුණු කරන තරුණ පිරිස ද සියලූම දෙනා නොවේ. නමුත් වත්මන් ආර්ථිකය තුළ මෙම අංශ දෙකම සැලකිය යුතු කොටසකි.

ගොවිතැන සම්පූර්ණයෙන් පැය ගණන යොදවන එකක් නොවන ආකාරයට ත‍්‍රීවලර් එකකින් කුලී ධාවනය ද දවස පුරා වැඩ කරන එකක් නොවේ. අවුරුදු නොනගතය තුළ අවධානය යොමු කළ යුතු අලූත් දෙයක් ගැනය. ගොවිතැන පමණක් නොව එයින් නික්ම තී‍්‍රවිලර් හන්දියට පැමිණ ඇති තරුණ පෙළ මෙරට ආර්ථිකයේ බලවත් සාධකයක් බවට පත් කළ හැක්කේ කෙසේද? තරුණ ජවය ඇති ශක්තිමත්ම කොටස ත‍්‍රීවිලර් වෘත්තියකට සීමා විය යුතුද?සෞභාග්‍ය ඇත්තේ අලූතින් ඒ ගැන හිතන ආකාරය අනුවය. නොනැවතී වැඩ කරන, වැඩ කරන ප‍්‍රමාණය තුළින් අත් විශාල නිෂ්පාදනයක් කරන සහ ඒවා වෙළඳ පොළට ඉදිරිපත් කරන සමාජය ඉදිරියෙන් ඉදිරියට පැමිණ තිබේ. ජාත්‍යන්තරය තුළ දියුණු රටවල් අතරට පැමිණ ඇති සමාජ දෙස බලන විට එම රටවල පුරවැසියන් වැඩ කරන ආකාරය හා ආකල්ප අධ්‍යයනය කරන්නට අවශ්‍යය. අලූත් අවුරුද්දට පසු  අලූත් යුගයක් වෙනුවෙන් ආකල්ප වෙනස් කරගත යුතුය.

 

 

Advertisements