milinda-prashna

2016/03/30 – ලංකාදීප

දරුවන් ඉගෙන ගන්නට කැමැති හොඳට උගන්වන ගුරුවරුන්ගෙනි. ගුරුවරු කරන්නේ දරුවන්ට ගැලපෙන පරිදි ඉගැන්වීමයි. ගුරුවරු පමණක් නොව විදුහල්පතිවරු ද දෙමව්පියන්ට, නිලධාරීන්ට සහ ඇමැතිවරුන්ට උවමනා ආකාරයට විදුහල පාලනය කරමින් සිටී. ස්වාමීන් වහන්සේලා ධර්මය දේශනා කරන්නේ දේශනා කළ යුතු දේ සමාජයට දන්වන්නට නොවේ. අනෙකුත් ආගමික නායකයන් ද එසේම බව නිරීක්ෂණය කළ හැකිය. අහන්නට එනු කැමැති පිරිස වැඩි කරගන්නටය. දේශපාලනඥයන් ක‍්‍රියාත්මක වෙන්නේ ජන නායකයන් හැටියට නොවේ. නායකත්ව ගුණාංග පිළිබිඹු කරනු වෙනුවට ජනතාව කැමැති නායකයන් වෙන්නට ඔවුන් සූදානම්ය. පුවත්පත්, ගුවන් විදුලිය රූපවාහිනිය වැනි මාධ්‍ය පවා සූදානම් ජනතාව කැමැති දේ දෙන්නටය.

ජනතාව ඉල්ලන දේ සැපයීම නායකත්වය ද? නායකයෙකුගෙන් පිළිබිඹු  විය යුතු ඉල්ලූමට සැපයීම ද? ශ‍්‍රී ලංකාවේ සමාජ ආගමික සහ දේශපාලන නායකත්වය ගමන් කරමින් සිටින්නේ ඉල්ලන දේ සපයන ව්‍යුහයකටය.සමාජ භූමිකාව තුළ මහා පෞර්ෂයක් තිබූ ගුරුවරයාගේ ස්වභාවය තැන අද ජනප‍්‍රිය ගුරුවරයෙකු අත් පත් කරගෙන තිබේ. ජනප‍්‍රියත්වය වෙනුවෙන් ගුරුවරු කරන්නේ උගන්වන ආකාරය වෙනස් කිරීමයි. වෙනස් ආකාරයට සැහැල්ලූවෙන් උගන්වන ගුරුවරුන් අතිරේක පන්ති පවත්වන ජනප‍්‍රියත්වයේ ඉහළටම පැමිණි අය බවට පත්ව තිබේ. දහම් දෙසන ආගමික නායකයන් ද, මාධ්‍ය ආයතන ද රේටිං කරන්නේ දිනාගෙන ඇති ජනප‍්‍රියත්වය අනුවය. ආගමික දර්ශනය වෙනුවට ජනප‍්‍රිය බණ දේශනා කරන  ස්වාමීන් වහන්සේලා අතර පිළිගැනීමේ අනුපිලිවෙලක් හැදී තිබේ. එම ජනප‍්‍රියත්වය හැදෙන්නේ ජනතාව අතරය. ගුණවත්කම, ධර්ම විනයානුකූලව හැසිරීම එහිලා සලකා බලන්නේ නැත. සලකා බලන්නේ තමන්ට දැනෙන ආකාරයට දේශණා කිරීමේ හැකියාවයි.

ගුරවරු, ආගමික නායකයන් සහ මාධ්‍ය යන සලකා බලන ලද අංශ සම්පූර්ණයෙන්ම මෙම ජනප‍්‍රිය උවමනාව වෙනුවෙන් ක‍්‍රියාකරන බව සඳහන් කරන්නට හැකියාවක් නැත. කොටසක් ජනප‍්‍රියත්වය වෙනුවට ගෞරවය දිනා ගන්නා අරමුණෙන් කි‍්‍රියාත්මක වන බව දැක්විය හැකිය. නමුත් දේශපාලනය  නරක ආකාරයට ජනප‍්‍රියත්වය වෙනුවෙන් නැඹුරු වී තිබේ. ශ‍්‍රී ලංකාවේ සියලූම ක්ෂේත‍්‍ර දරුණු අන්දමට දේශපාලනය ග‍්‍රහණයට ලක්ව තිබේ. ජන ජීවිතයේ පැවැත්ම දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන්ගේ බලය තීරණය කරන බව පැහැදිලිව පෙනෙන අතර ජනප‍්‍රියතාව වෙනුවෙන් ජනතාව හමුවට යන දේශපාලනඥයන් ජන අවශ්‍යතා ඉටු කිරීම වෙනුවට පාක්ෂිකයන් ගේ උවමනා සාක්ෂාත් කිරීමට පමණක් වැඩිපුර උනන්දුවීම මෙහි ඇති තවත් බලවත් ප‍්‍රශ්නයක් බව පැහැදිලිව පෙනේ.

ජනතාව අතර ජනප‍්‍රිය වෙන්නට දේශපාලනඥයන් කරන්නේ ජනයා අපේක්ෂා කරන ඔවුන් පිනවන දේශපාලනයක යෙදීමයි. කතාකරන්නේ, අපහාස, උපහාස සහ අවලාද කරගන්නේ පටු ආකාරයකටය. ජන නායකත්වයක් එයින් පෙන්නුම් කරන්නේ නැත. දේශපාලනඥයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් නායකත්වයට ඔබින පරිනත බවක් ඔප්පු කරන බවක් නොපෙන්වයි. රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් බිහිවන නායකත්වය මෙවැනි දේශපාලනඥයන් දැයි සිතෙන තරමට එය බරපතලය.

ජනතාවට උවමනා ආකාරයට ක‍්‍රියා කරනු වෙනුවට ජනතාවට ඉදිරියෙන් සිටින නායකයන් රටට අවශ්‍යව තිබේ. ගුරුවරු දරුවන් ගේ ජනප‍්‍රියත්වයෙන් යැපෙන්නට අවශ්‍ය නැත. අවශ්‍ය ඔවුන්ට ඉදිරියෙන් සිටින්නටය. ආගමික නායකයන් ජනතාවට නිසි මග පෙන්වනවා විනා ඔවුන්ගෙන් ජනප‍්‍රියත්වය අපේක්ෂා කරන්නේ ඇයි? දේශපාලනඥයන් රටක් ඉදිරියට ගෙන යා යුතුය. මිනිසුන් හිතන්නේ නැති දේ හිතන්නට තරම් පුලූල් හදවත් ඇති, ජනතාව අපේක්ෂා කරන්නේ නැති තරමට දුර දක්නා නුවණකින් යුතු දේශපාලනඥයෝ ශ‍්‍රී ලංකාවේ පැවැත්මට දායක වනු ඇත. එය එසේ නොවන්නේ නම් මෙම ගමන තව තවත් දුෂ්කර වනු නිසැකය.

 

Advertisements