milinda-prashna

2016/03/09 – ලංකාදීප

රටට බත සපයන්නේ ගොවියන්ය. ගොවිතැන ආර්ථිකයක් පමණක් නොව සංස්කෘතික අනන්‍යතාවයක් සහිත කර්මාන්තයකි. කෘෂිකර්මයෙහි වී ගොවිතැනට හිමි ස්ථානය වෙනුවෙන් ශ‍්‍රී ලාංකේය රාමුවක් තිබේ. කෙත් බිම කොටා මඩවා, අස්වද්දන සහ එයින් පසු අස්වැන්න නෙලා ගෙට ගන්නා තෙක් සම්පූර්ණ සම්ප‍්‍රදායක් තිබිණ. එය තුළ බත යනු බුද්ධ බෝගයකි. සහල් නිපදවන ගොවිතැනෙහි නිරත ගොවියෝ සරල පැවැත්මක් ඇති ජන කොටසක් විය. සියවස් ගණනක් පැවැති, පැවැත්මෙන් පෝෂණය වූ වි ගොවිතැන අද සංකීර්ණ තැනකට පත්ව තිබේ. එම සංකීර්ණ පසුබිම තුළ ගොවියා සහ ගොවිතැන බලවත් අර්බුදයකට පත්ව ඇති බව සඳහන්ය.

පෙනෙන ආකාරයට මෙම අර්බුදයේ කේන්ද්‍රය කුමක්ද? තම පවුලේ අවශ්‍යතාවය වෙනුවෙන් සහල් නිපදවීමේ උවමනාව වෙළඳ පොල වෙනුවෙන් සහල් නිපදවීම දක්වා වෙනස්වීමය. ගොවියාගේ එදිනෙදා වියදම් වෙනුවෙන් මුදල් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් වී විකුණා මුදල් උපයා ගන්නට සිදුවෙයි. වී විකුණන සහ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් සහල් නිපදවන විට එහි තත්ත්වය, මිල තරඟකාරීත්වය සහ පාරිභෝගික ඉල්ලූම යනාදී වශයෙන් නොයෙක් කාරණා සැලකිල්ලට ගැනේ. කුඩා පරිමාන වී වගාවෙහි යෙදෙන ගොවියන්ට සිය අස්වැන්න ප‍්‍රමාණවත් නොවන අතර වැඩි අස්වැන්නක් වෙනුවෙන් කාබනික ගොවිතැන වෙනුවට රසායනික ක‍්‍රම වලට අනුගත වෙන්නට මෑත කාලීනව සිදු වූ බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

රසායනික පොහොර, කෘෂි සහ කාමි නාශක යනාදියට ක‍්‍රමානුකූලව නතු වූ මෙරට වී ගොවිතැන අද ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා ඇති අතරතුර ශරීරයට අහිතකර වී නිපදවන සහ ගොවියා රෝගියෙකු කරන එකක් බවට පත්ව තිබේ. ආහාර අර්බුදයක් ඇතැයි ප‍්‍රකාශ කර වැඩිපුර නිපදවන්නට ගොවියන් පෙළඹ වූ ආණ්ඩු වෙනුවට වත්මනෙහි සිදුවී ඇත්තේ කාබනික ගොවිතැන වෙනුවෙන් ගොවියා යොමු කරන වැඩසටහන් සම්පාදනයටය. වැඩි දියුණු බීජ, වැඩි දියුණු පොහොර, වැඩි දියුණු කරන ලද යන්ත‍්‍ර සූත‍්‍ර ගොවි බිමට පැමිණ ඇති නමුත් ගොවියා ගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට මෙකී මෙවලම් වලට හැකියාවක් ලැබී නැත. ගොවිතැනට ශ‍්‍රම හිඟයක් ඇති බව සඳහන් වන නමුත් මෙරට ගොවියන් සාර්ථකව කාර්මික මෙවලම් වලට අනුගතව තිබේ. ගොවිපොල අස් වැද්දීම, පැල සිටුවීම පමණක් නොව අස්වැන්න නෙලාගෙන ඒවා ගබඩා කිරීමට ද යන්ත‍්‍ර හවුල් වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අඩු ශ‍්‍රමයකින් වැඩි අස්වැන්නක් ලබා ගන්නට මෙරට ගොවියන් සමත් වී ඇත.

කලාපයේ හෝ ලෝකයේ වී ගොවිතැනේ ඵලදායීතාව සමග සසඳනවිට ප‍්‍රතිශතය යම් ප‍්‍රමාණයකින් අඩු නමුත් 1940 ගණන් වල තත්ත්වය සමග සසඳන විට විශාල ප‍්‍රගතියක් පමණක් නොව සහල් අතින් ස්වයංපෝෂිත රටක් බිහි කිරීමට හේතු වීමකි.මෙතැන් සිට ඉදිරියට බත නිපදවීම සම්ප‍්‍රදායික කෘෂි කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන්නේ ද නොඑසේ නම් වෙළඳපොල වෙනුවෙන් නිපදවන ලාභදායී කර්මාන්තයක් සේ පවත්වාගෙන යන්නේ දැයි විමසා බැලිම වැදගත්ය. ජපානය වී වගා කරයි. නමුත් එරට සහල් නිපදවීම අතිශය වියදම් සහගත එකකි. ගොවිතැන ආරක්ෂා කරන්නට එම රටවල ආණ්ඩු අති විශාල සහන සලසමින් එහි සම්ප‍්‍රදාය පවත්වාගෙන යයි. තායිවානය, ඉන්දුනීසියාව වැනි රටවල් මහා පරිමානයෙන් සහල් නිපදවන අතර ඒවා ලාභදායීව නිපදවා ජාත්‍යන්තර වෙළඳපොලට අපනයනය කරමින් සිටිති.

ශ‍්‍රී ලංකාවේ ගොවිතැන සහනාධාර සහිතව කාබනික එකක් වශයෙන් රටට සහ ගොවියාට හිතකර ලෙස පවත්වාගෙන යා හැකි අතර ඒ වෙනුවෙන් ආණ්ඩුව සහ සමාජය විශාල මිලක් ගෙවන්නට කැමැති විය යුතුය. සහනාධාර රහිතව, කාර්මික මෙවලම් යොදවා මහා පරිමානයෙන් වගාකර වෙළඳපොලට ලාභ දායක ලෙස සහල් නිපදවිය හැකිය. එහි ගුණාත්මක භාවය හෝ සම්ප‍්‍රදායික ලක්ෂණ නැත. සමාජයීය කැපවීම අඩුය. ගොවියා ගොවිතැනින් ඉවත් වන්නට ඉඩ ඇති අතර ඒ වෙනුවට ගොවිපොල පාලනය කරන සමාගම් බිහි වෙන්නට ඉඩ තිබේ. ගොවියා එහි කුලී කරුවෙකු විය හැකිය. මෙම අන්ත දෙක අතර මැද සිටින රටට අලූත් තත්ත්වය දෙස අලූතින් සාකච්ඡුා කරන්නට සිදුව ඇති බව සඳහන් කළ යුතුය.

Advertisements