milinda-prashna

2016/02/03 – ලංකාදීප

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහා මාර්ගය වහා විවෘත කරන ලෙස බල කිරීමට පොදු ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තිබේ. දන්ත ධාතූන්වහන්සේ වැඩ සිටින මාළිගාව ආරක්ෂා කර එහි උන්නතිය වෙනුවෙන් සියලූ පියවර ගත යුතුය යන මතයෙහි සිටින්නට ද රට වැසියන්ට අවස්ථාවක් ඇත. මත දෙකක් ඇති දෙපිරිසක් තමන් දරන අදහස් වෙනුවෙන් තර්ක ගොඩනගමින් සිටී. එය මේ දිනවල නිරීක්ෂණය කළ හැකි අවධානයට ලක්වන කරුණකි. සත්‍ය අනාවරණය කර ගත හැක්කේ මත ගැටී ඇවිලි සටන් කිරිමෙන් නොවේ. සාවධානව විමර්ෂණය කිරීමෙන්ය.

දන්ත ධාතූන් වහන්සේ ශ‍්‍රී ලංකාවට වැඩම කරවන්නේ ඇයි? එය ආරක්ෂාව සම්බන්ධ කාරණයකි. දළදා වහන්සේ ආරක්ෂා කර දෙන වගකීම පැරණි ලංකාවේ නරපතියෝ භාරගත්තේ මහත් භක්ත්‍යාදරයෙන්ය. දිවි පරදුවට තබා දළදා වහන්සේ ආරක්ෂා කළ බව ඉතිහාසය පෙන්වා දෙයි. දළදා වහන්සේගේ භාරකාරත්වය කොපමණ බලවත් එකක් ද යත් එය රාජ්‍යයේ උරුමය සංකේතවත් කරයි. අනුරාධපුරය, පොලොන්නරුව, දඹදෙණිය යනාදී වශයෙන් රාජ්‍ය පාලනයේ යුග වෙනස්වන නමුත් දළඳා වහන්සේ සතු සුවිශේෂී බලය එක හා සමානය. ආක‍්‍රමණ වල දී ආරක්ෂා වෙයි. සතුරු උපද්‍රව වලින් බේරා ගනියි. ලංකාව යටත් විජිතයක් බවට පත්වන විට පවා දළඳා වහන්සේ ගේ ගෞරවය තහවුරු කෙරෙති. නොයෙක් බාධා, කුමන්ත‍්‍රණ සහ බලවේග කි‍්‍රයාත්මක වූ නමුත් සුරක්ෂිත සහ සියලූ ජන වන්දනීයත්වය පැවැති බව ඉතිහාසය පුරා පෙන්වා දෙන සත්‍යයකි.

අධිරාජ්‍යවාදී පාලන කාලයේ දී පවා ආගමික සහ සංස්කෘතික වශයෙන් දළඳා වහන්සේ සතු අනන්‍යතාවය හඳුනාගෙන තිබූ බව සඳහන් කළ යුතුය. රාජ්‍ය පාලනය භාර ගන්නා නමුත් මල්වතු අස්ගිරි මහා විහාරයන් වෙතින් දළඳා වහන්සේ අත්පත් කරගන්නට සූදානම් වන්නේ නැත. දියවඩන නිලමේ තනතුර පත් කර ගැනීමට ඔවුන් දන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන්ද ක‍්‍රමය අනුව සැලැස්මක් සකස් කරන්නේය. ශ‍්‍රී ලංකාව නිදහස් වන නමුත් නිදහසින් දශක හතකට ආසන්න කාලයක් ගත වීමෙන් පසුව පවා අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන් දළදා මාළිගාවේ පැවැත්මට අදාල රීති වෙනස් කරන්නට හැකියාවක් ලැබී නැත.

ශ‍්‍රී ලංකාව වේගයෙන් සමාජ පරිවර්තනයකට ලක් වෙමින් තිබේ. ආර්ථික සමාජ සහ සංස්කෘතික වටිනාකම් වෙනස් වෙමින් පවතින බව මෙම පරිවර්තනය තුළ දැකිය හැකි එක්තරා වැදගත් ලක්ෂණයකි. දළඳා මාලිගාව සහ ඒ අවට කලාපය සංවාදයට ලක්වන්නේ මෙම පීඩනයෙහි එක්තරා කෘත්‍යයක් අනුව බව පැහැදිලිව පෙනෙන එක්තරා සියුම් කාරණයකි. වර්ධනය වන මෙම තත්ත්වය තේරුම්ගත යුතු ජනතා අභිලාශයන් අනුවය.
මහනුවර නගරයේ අධික රථවාහන තදබදය බලවත් ගැටලූවකි. එය මහනුවරට පමණක් නොව ප‍්‍රධාන නගරවල පොදු ලක්ෂණයකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වායු සහ ශබ්ධ දුෂණය අපේක්ෂා කළ යුතුය. අධික ජනගහනයක් රැස්කන විට නගරය තුළ ඇති සෞම්‍ය භාවය අනතුරට පත්වන අතර සැනසිලි සහගත පූජා නගරයක් වෙනුවට මහනුවර ඉතා සංකීර්ණ අවිධිමත් තැනක් බවට පත්ව තිබේ. එවැනි තත්ත්වයකට පත්වීම කෙබඳු අරුමයක්ද?

දළදා මාළිගාව ඉදිරිපිට මහා මාර්ගය ගැන විවාදය මෙරට සියලූ ආකාරයේ වාද විවාද අතුරින් එකක් පමණකි. ත‍්‍රස්තවාදී තර්ජන පැවැති කාලයේ වසා දමන ලද මාර්ගය නැවත විවෘත කරන තීන්දුවට එලැඹෙන විට සලකා බැලිය යුතු පැති ගණනාවක් තිබේ. මහනුවර රාජධානිය තුළ පැවැති පැවැති ස්වභාවය, අධිරාජ්‍යවාදී යුගයේ තත්ත්වය සහ වර්තමානයේ පවතින ආකාරය විමසා බැලීම ඉතාමත් වැදගත්ය. දෛනික පැවැත්ම සලකා බලා මාර්ගය විවෘත කිරීමට තීන්දු කිරීම එකකි. අනෙක් තීරණය ඕනෑම මිලක් ගෙවා මහනුවර මහ නගරය ජන පහසුව උදෙසා නැවත සැලසුම් කිරීමය. දළඳා මාළිගයේ වන්දනීයත්වයට පමණක් නොව නගර වැසියන්ගේ ජීවිතයට යන කාරණා වෙනුවෙන් දීර්ඝ කාලීන විසඳුමක් අවශ්‍ය බව ඉතාමත් පැහැදිලිය.

Advertisements