milinda-prashna

2016/02/24 – ලංකාදීප

ගෝලීය උණුසුම අද ජාත්‍යන්තර අවධානයට ගෙන ඇති විශේෂිත කාරණයකි. මිනිස් ක‍්‍රියාකාරකම් හෙයින් ඕසෝන ස්ථරයට හානි වෙමින් පවතින අතර එය මහ පොලව හිරු එළියට නිරාවරණය වන හේතුවක් වී තිබේ. හිරු තාපය ගෝලීය උණුසුමට බලපා ද්‍රැවීය අයිස් කඳු දියවෙනු ඇති අතර එය සාගර වල ජල මට්ටම ඉහළ නැග ගොඩබිම යටවෙනු පමණක් නොව කාලගුණ විපර්යාස ඇතුළු තව තවත් බරපතල තත්ත්ව වලට හේතු වනු ඇතැයි බරපතල සාකච්ඡා සිදුවෙයි.

කාලගුණ වෙනස්කම් වලකන අරමුණ ඇතිව, මෙතෙක් කරගෙන යන කාර්මික දහනය යම් ආකාරයකට සීමා කරන්නට ලෝක ප‍්‍රකට ව්‍යවසායකයෝ කණ්ඩායමක් එකමුතු වී සිටී. පැරිසියේ දි අවසන් වූ එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ සමුලූවට සහභාගී වූ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ඇතුළු ප‍්‍රමුඛ අර්ථපතියන් විසි අට දෙනෙකු පොසිල ඉන්ධන භාවිතය අඩු කරන්නට හැකි උපරිම දායකත්වය දෙන්නට තීරණය කරයි. එපමණක් නොව හරිත බලශක්තියට ජගත් ප‍්‍රජාව නැඹුරු කරන්නට ස්වකීය වත්කම් වලින් සැලකිය යුතු කොටසක් වෙන් කරන්නට කැමැත්ත පළ කර තිබේ. එය මහපොලව සුවපත් කරන අදහසකි.

බිල් ගේට්ස් තමන්ගේ පුද්ගලික වත්කම් වලින් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් ඉදිරි පස් වසර තුළ හරිත බලශක්තිය නිපදවන පර්යේෂණ වෙනුවෙන් ප‍්‍රදානය කරන්නට සූදානම්ය. වසර 2050 වන විට දැන් පවතින බලශක්ති ඉල්ලූම දැනට භාවිතා වන තරම මෙන් සියයට පනහකින් ඉහළ යනු ඇති අතර එය පියවන්නට හරිත බලය උපයෝගී කරගැනීම සුදුසු බව හෙතෙම දක්වයි. සුළං බලය පමණක් නොව හිරු එළිය ඒ වෙනුවෙන් උපයෝගී කරගත හැකි අතර දැනට පර්යේෂණාගාර මට්ටමින් පවතින අදහස් වානිජ වශයෙන් ඉදිරියට ගෙන භාවිතාවට අනුබලදීම මෙම බලවත් ව්‍යාපාරික සංසදයේ අවසාන ඉලක්කයයි.

මෙම සංසදය තුළ සිටින රටවල් අතරින් ඇමරිකාව, චීනය, ඉන්දුනිසියාව සහ බ‍්‍රසීලය කැපී පෙනෙන අතර මෙම සියලූ රටවල පුද්ගලික අංශයේ ව්‍යවසායකයෝ තමන්ගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් යොදවා ලෝකය නැවත සිසිල් කරන්නට බලවත් ප‍්‍රයත්නයක් දරන බව නිරීක්ෂණය කළ හැකිය. මෙම පිරිස වෙනුවෙන් කරන අධ්‍යයන අනුව ගෝලීය උණුසුම සෙල්සියස් අංශක දෙකකින් අඩු කරන්නට දැන් කරන පුනර්ජනණීය බලශක්තිය තවත් ඉහලට ගෙන ආ යුතුය. එය ඇමරිකානු ඩොලර් බිලියන 270 ක සිට බිලියන 400 දක්වා පිරිවැයක් වනු ඇති අතර ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය දිරිගැන්වීම බිල් ගේට්ස් ඇතුළු පිරිස ගේ මහන්සියයි.

ජිවත්වන අප සියලූම දෙනා පමණක් නොව අපගේ දරු මුණුබුරන් ද අනාගතයේ දී ගොලීය උණුසම සහ කාලගුණ විපර්යාසයේ ගොදුරු බවට පත්වන්නට ඉඩ තිබේ. බලවත් රටවල් සහ දැවැන්ත ධනපති ව්‍යවසායකයන් ඒ ගැන භීතියක් ඇති කර දැවැන්ත ආකාරයට ධනය වියදම් කරන විට එය එම රටවල කාර්මීකරණයෙන් ලෝකයට සිදුවූ අවාසියට ගෙවන වන්දියක් වශයෙන් හඳුන්වන දැඩි මතධාරී කණ්ඩායමක් ද සිටින බව අමතක කළ යුතු නැත.
ශ‍්‍රී ලංකාව තෝරා ගත යුතු මෙම අදහස් දෙක අතර මැද මාවතයි. කාලගුණ විපර්යාස සිදුවෙමින් තිබේ. එය අධික වැසි පමණක් නොව අකලට එන දීර්ඝ නියඟ ලෙස දැනෙන්නට පටන්ගෙන තිබේ. ජාත්‍යන්තරය තුළ පවතින විවාදයේ යථාර්ථය තේරුම් ගෙන හරිත බලශක්තිය වෙනුවෙන් අවධානය යොමු කළ යුතුය. පොසිල ඉන්දන මිල අඩු වූ පමණින් අවධානය වෙනස්කළ යුතු නැත. එය අනාගතය වෙනුවෙන් ආයෝජනයක් පමණක් නොව මහ පොළව නැවතත් සුපුරුදු සැනසිලිදායක තැනක් කරන්නට කරන පරිත්‍යාගයකි. ඒ වෙනුවෙන් ප‍්‍රතිපත්ති තීරණ වෙනස් කිරීම, අලූත් අදහස් වලට ඉඩ දීම වැදගත්ය.

සංවර්ධන වේගය වැඩිවන විට සහ නාගරීකරණ තත්ත්ව යටතේ බලශක්ති භාවිතාව ඉහළ යන අතර මැදි ආදායම් රටක මට්ටමකට පත්වන ශ‍්‍රී ලංකාවේ බලශක්ති ඉල්ලූම සපයන්නට අනුගමනය කරන සැලසුම් හමුවේ හරිත ලක්ෂණ උපයෝගී වෙන්නේදැයි සොයා බැලීම වැදගත්ය. අලූත් නිවාස ඉදිකිරීමේ දී සිට මහා කම්හල් වෙනුවෙන් කරන ආයෝජන දක්වා බලශක්ති සංරක්ෂණය සහ පුනර්ජනණීය බලශක්තිය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නම් ජාත්‍යන්තරයේ මහා ආයෝජකයන්ගේ අරමුණු සමග සමපාත වන්නට රටට හැකියාවක් තිබේ.

Advertisements