milinda-prashna

2016/02/17 – ලංකාදීප

ජල කළමණාකරනය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් රටට ඇත. අහසෙන් වැටෙන දිය වැව් තනා එහි එක් රැස් කර ඇල මාර්ග ඔස්සේ කෙත් බිම් වලට යොමු කර රට ධාන්‍යාගාරයක් කරන්නේ පෙර රජ දවසය. වැව සහ ජල කලමණාකරනය දුර්වල තැනකට පත්වෙන්නේ අධිරාජ්‍යවාදී කාලයේය. රට යටත් කරගන්නට නම් වැව විනාශ කර ලාංකිකයන් බේද භින්න කළ යුතු බව දැන සිටි බටහිර එය සාර්ථකව කරන ලද අතර නිදහස ලැබූ ශ‍්‍රී ලංකාව ස්වකීය අනන්‍ය තාක්ෂණයේ අභිමානය නැවත ඇති කරගැනීමේ සිහිනයෙන් යුතුව සිටින බව සදහන් කළහොත් එය නිවැරදිය.
මහවැලි ග`ග උතුරට හැරවීම මෙහි එක් පියවරකි. තවත් ඉදිරියට ගමන් කිරීම සදහා රට පුරා ඇති ගංගා ජලාශ කෙත් සරු කරන්නටත්, විදුලිය නිපදවන්නටත් උපයෝගී කර ගනිමින් සිටී.

ශ‍්‍රී ලංකාවේ උතුරු පලාතට වතුර සපයන යෝජනාවක් ගැන සාකච්ඡා දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙයි. කලපු කරදිය වතුර පිරිසිදු කර බෙදා හැරීම ගැන කතා කරයි. නමුත් වන්නියෙන් ඔබ්බට දකුණෙන් දිය සපයන්නට තවමත් ස්ථිර වැඩ පිළිවෙලක් නැත. යාපනයට වාරි සම්පාදනය කළහොත් අතරමග කලාප වලට ජලය හි`ග විය හැකි බවට මතයක් පවතින අතර ස්වභාවික ජල පද්ධති වෙනස් කිරීම කාලගුණ විපර්යාස වලට හේතු විය හැකි බවට තද මතයක් සමාජය පුරා පැතිරෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකායෙන් සියයට තිහක් පමණ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ආශ‍්‍රිත යැපීම් මාර්ගයක නිරත නමුත් මෙම පිරිස රටේ ආර්ථික වෘද්ධියට කරන දායකත්වය සියයට 11 ක් පමණ වී තිබේ. එය ප‍්‍රමාණවත් නැති එකකි. ඵලදායිබව අඩු කෘෂි අංශය තුළ යම් පරිවර්තනයක් කරන්නට නම් ඉඩම් භාවිතාව, ජල කළමණාකරනය සහ වගා කරන භෝග ගැන අලූතින් හිතන්නට අවශ්‍යව තිබේ.

අසල්වැසි ඉන්දියාව මේ දිනවල ආන්දෝලනාත්මක තීන්දුවක් ගෙන තිබේ. එයට අනුව කෘෂි අංශයෙහි බලවත් පරිවර්තනයක් විය හැකි අතර ජල කළමණාකරණය සම්බන්ධයෙන් ආසියාවේ ඉහළම ආදර්ශයක් වෙන්නට ඉඩ තිබේ. එම තීන්දුව ගන්නට ඉන්දියාව අවුරුදු හතලිහක් වාද විවාද කර ඇත. එරට අගමැති නරේන්ද්‍ර මෝදි ප‍්‍රධාන ගංගා තිස් හතක් එකිනෙකට සම්බන්ධ කරන තීරණයට එළැඹ ඇති අතර එය ෙඓතිහාසික එකක් වශයෙන් මහත් ප‍්‍රසාදයට ලක්ව තිබේ. ගංගා තිස් හත එකිනෙකට සම්බන්ධ වන විට කිලෝමීටර් 15,000 ක් දිග අලූත් ඇල මාර්ග තැනෙන අතර හෙක්ටයාර් මිලියන 35 ක් ගොවි බිම් අස්වද්දන්නට ඉලක්ක කර ඇති බව වාර්තා වෙයි. ගංගා යා කෙරෙන ඇල මාර්ග අතර මග දහස් ගණනින් කුඩා වැච් සහ ජලාශ ඉදිවන අතර මෙම ඇල මාර්ග ආශ‍්‍රිතව ඉදි කරන විදුලිය බලාගාර වලින් ගිගා වොට් තිස් හතරක ජල විදුලිය බල ප‍්‍රමාණයක් නිපදවා ගැනීම අපේක්ෂා කෙරේ.

ජලය කළමණාකරණය ඉන්දියාවේ අර්බුදකාරී මාතෘකාවකි. ඉන්දියානු ජාතික කොන්ග‍්‍රසය මෙම අදහස ඇතිව ක‍්‍රියා කරමින් සිටි නමුත් සෘජු තිරණයක් ගන්නට මැලිකමක් දැක්වූයේ එය විශාල දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත්වන හෙයින්ය. නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව ඒ වෙනුවෙන් පළමු පියවර තබා ඇති අතර මෙම සැලැස්ම අනුව ඉන්දියාවේ ඇතැම් නගර වලට බලපාන ගංවතුර තත්ත්වය පාලනය විය හැකි අතර නිය`ගය පරාජය කර ගොවියන්ට නිසි ලෙස වගා කරන්නට අවකාශය සැලසෙනු ඇතැයි නිවේදනය කර තිබේ.

ඉන්දියාවේ ගංගා සම්බන්ධ කරගෙන අලූත් ගොවි ජනපද හදන ව්‍යාපෘතියට වතුර හි`ගයෙන් පෙලෙන දුප්පත් ජනී ජනයාගේ සහාය ලැබෙමින් පවතින නමුත් රාජ්‍ය නොවන සංවිධාන, පරිසර හිතවාදීන් සහ දේශපාලනඥයන් මෙම යෝජනා ක‍්‍රමය ඉදිරියට ගියහොත් රට තුළ නොසිතන ආකාරයේ පරිසර විනාශයක්, ආර්ථික හානියක් සහ සංස්කෘතික පරිහානියක් සිදුවන බවට දරුණු මත ගොඩ නගමින් සිටී. ඉන්දීය ආණ්ඩුව ප‍්‍රකාශ කරන ආකාරය අනුව නම් සියලූ පැති අධ්‍යයනය කර අවසන් අතර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්නට සියලූ කටයුතු සූදානම්ය.
ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වශයෙන් සශී‍්‍රකත්වයට පත්ව සිටි කාලයක් තිබිණ. කෘෂිකර්මය ලාභදායි එකක් නොවන සහ එයට නැඹුරුවන්නට තරුණන් උනන්දු නොවන හේතුව ජල සම්පාදනය පමණක් නොව ඒ වෙනුවෙන් පවතින ගැටලූ බව තේරුම් ගැනීම අවශ්‍යය. ඉන්දියාව අලූත් ඇල මාර්ග තනා රට තුළ ගංගා සම්බන්ධ කරන විට කෘෂිකර්මය දියුණු වන අතර එවැනි ප‍්‍රගතියක් අත් පත් කරගන්නේ තාක්ෂණික සහ සේවා අංශ වලින් ඉදිරියට පැමිණ ඇති අවස්ථාවකය. ජාත්‍යන්තරය තුළ ජල කළමණාකරණය පමණක් නොව ජල සංරක්ෂණය ගැන ද අලූත් අදහස් ඉදිරිපත්ව තිබේ. එකී පැති අධ්‍යයනය කිරීම රටට ඉතාමත් වැඩදායකය.

Advertisements