milinda-prashna

2016/02/03 – ලංකාදීප

නිදහස් දින ජාතික ගීය

ස්වෛරී රාජ්‍යයක, නිදහසේ උදානය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සූදානම් වෙයි. බටහිරට යටත්ව සිටි, එහි අමිහිරි අත්දැකීම් වලින් මිදී නිවහල්ව නැගී සිටින රටට ජාතික ධජය, ජාතික ගීය සහ බැඳුන සංකේත ජාතිකාභිමානය වඩවයි. දෛර්යය ඇති කරයි. පළමුවන නිදහස් දිනයේ සිට හෙට පවත්වන නිදහස් උළෙල දක්වාම ජාතික ගීය නිදහසේ බලවත් භාවාත්මක ප‍්‍රකාශනයකි.
ආනන්ද සමරකෝන් ශූරින් රචනා කර ජාතික ගීය අමරණීයත්වයට පත්ව ඇති පද වැලකි. ජාතික ගීය ආන්දෝලනයකට ලක් වූ කාලයක් තිබිණ. අදටත් එය එසේමය. ජාතික ගීය සිංහලෙන් හැර අන් භාෂාවකින් ගායනා කිරීම ගැනය. ජාතික ගීතයෙන් හැඟීම් ජනිත කර රට ගැන හදවතේ ආදරයක් ඇතිවෙන්නට නම් එයින් කියැවෙන දේ තේරුම් ගැනීම අවශ්‍යය. ජාතික ගීය විඳින්නට සහ එයින් හදවත් මෝහනය වෙන්නට උවමනාය. ජාතික ගීයේ පදවැල වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම ගැන විවාදය එසේ කරගෙන යන අතර ගීය ගායනා කරන ආකාරය ගැන ද අලූත් අත්දැකීම් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙයි. ලෝකයේ නොයෙක් රටවල් තම රටේ උත්තරිතර තැනට පත් ජාතික ගීය තව තවත් ඉහළටම නංවා සෞන්දර්යාත්මක කරන්නට ප‍්‍රයත්න දරයි.
ඉන්දියාව නොයෙන් බෙදීම්, තද ආකල්ප ඇති තැනකි. රබීන්ද්‍රනාත් තාගෝර් ශූරින් නිදහස් සටන වෙනුවෙන් ඉන්දීය කොන්ග‍්‍රසයට හැඳු ගීතය අද ලෝකයේ දෙවැනියට වැඩිම ජනගහනයක් ඇති සහ විවිධ භාෂා හසුරුවන රටක ආත්මය බවට පත්ව තිබේ. ඉකුත් දිනක ඉන්දියාවේ විශිෂ්ඨ ශිල්පීන් වන ආශා බෝස්ලේ සහ ලතා මංගේෂ්කාර් ඔවුන්ට අනන්‍ය ක‍්‍රමයකට ඉන්දීය ජාතික ගීය ගායනා කළාය. එය අදටත් අන්තර් ජාලයෙන් දැක බලා, සවන්දිය හැකිය. ඉන්දියානුවෝ එයින් අමන්දානන්දයට පත්වූහ. අමරදේව හෝ නන්දා මාලනී වැනි ශිල්පීන් ඔවුන්ගේ මුල් ගායනයක් අලූත් ආකාරයකට ඉදිරිපත් කරන විට අති විශාල ආකාරයට ආනන්දයක් ජනිත වෙයි. ඔවුන් අතින් ජාතික ගීයේ ගායන විලාශයට අලූත් රිද්මයානුකූල බවක් මුසුවුවහොත් මෙරට සිදුවිය හැක්කේ කුමක්ද?
ඇමරිකාවේ මහා ගායිකාවක වන අරිතා ෆ්රුන්ක්ලින් ඇමරිකානු ජාතික ගීය කලූ අප‍්‍රිකානු ශෛලියට ගායනා කළාය. කාලයක් කලූ ජාතිකයෙකුට බස් රියෙක ආසනයක අසුන්ගෙන යන්නට නොලැබෙන තරමට ජාතීන් අතර බේධය තිබූ කලූ ජාතිය පහත් කර සැලකූ රටක සුදු ජාතීන්ගේ උත්තරීතර ජාතික ගීය කලූ ගායිකාවක වෙනස් ආකාරයකට ගායනා කිරීම ගැන දක්වන ඉවසීම පෙන්වන්නේ ඇමරිකානුවන්ගේ කෙබඳු පරිනත සමාජයක් බවට පත්ව ඇති බවද? බි‍්‍රතාන්‍යයේ ජනප‍්‍රිය වාදක කණ්ඩායමක් නූතන ශිල්ප දක්වා බි‍්‍රතාන්‍ය ජාතික ගීය ඉදිරිපත් කරයි. සිංගප්පූරුවේ බහුතරය චීන නමුත් එරට නිතිය අනුව ජාතික ගීය ගායනා කළහැක්කේ මැලේ භාෂාවෙන් පමණකි. ඒ අනුව රට හඳුන්වන්නේ සිංගප්පූරා යනුවෙන්ය. චින ජාතික ගීය පවා කොමියුනිස්ට් ප‍්‍රතිංස්කරණ වලට පසු වෙනස්කම් වලට ලක්ව තිබේ. මෙම සියලූ අවස්ථා අන්තර් ජාලයෙන් සවන් දිය හැකිය. ප‍්‍රසිද්ධ කර ඇති අතර ඒ ගැන නොමනාපයක් වෛරී කථනයක් නැත.
ඕනෑම රටක ජාතික ගීය විශිෂ්ඨත්වයට ලක් වූ එකකි. කිසිදු රටක් හෝ ජාතියක් එයට අගෞරව වෙන ආකාරයට අවභාවිතා කරන්නේ නැත. නමුත් ගායනා කරන තාලය හෝ සෘතිය දැනෙන හැ‍ගෙන ආකාරයට වෙනස් කිරීම ගැන ලෝකයේ නොයෙක් රටවල් අත්හදා බලමින් සිටී. විශිෂ්ඨ ශිල්පීහු ලවා ඔවුන්ට දැනෙන ආකාරයට හෘදයාංගම ලෙස ගායනා කරවන්නට උත්සාහ කරමින් සිටින බව අධ්‍යයනය කළ හැකිය. ගීතයේ අනන්‍යතාවයට එහි ප‍්‍රබුද්ධ විලාශයට හානි නොකර එය උත්කර්ෂවත් කරන්නට දරන ප‍්‍රයත්නයන් දෙස උපේක්ෂා සහගතව බලන්නට සූදානම් බව ජාත්‍යන්තරයෙන් ලැබෙන අලූත්ම පණිවුඩයයි.
ජාතික ගීතය හැඟීම්බර දෙයකි. එය තමන්ට දැනෙන, තමන්ට විඳින්නට සහ එම විඳින ආකාරය අනුව ශ‍්‍රී ලංකා මාතාව ගැන කුල්මත් වෙන්නට ඇත්නම් එය මහා ආශ්වාදයකි. මෙම උණුසුම දැනෙන්නේ එය වටහා ගත හැකි තරම අනුවය. ගාම්භීරත්වය තුළින්ම පමණක් නොවේ. නිදහස් දිනයේ දී ජාතික ගීය, එය රචනා කළ සංගීතවත් කළ සහ එහි ධ්වනිය අනුව රටක එක් සේසත් බව ඇතිවන ආකාරය ගැන අප‍්‍රමාණ උදාහරණ තිබේ. භක්තියක් ඇතිකරන ස්වභාවය ඇත. එහෙම නමුත් ජාත්‍යන්තර සමාජය තුළ ජාතික ගීත අනුකරණය මගින් සිදුවෙමින් පවතින දේ අවධානයට ගැනීම ද වැදගත්ය…

Advertisements