milinda-prashna

2016/01/27 – ලංකාදීප

ජීවන ගමන තුළ විවාහයට හිමි තැන ඉහළ එකකි. ලෝකයේ නොයෙක් රටවල් එකිනෙකට වෙනස් සංස්කෘතික උත්සවශී‍්‍රයක් ඇතිව විවාහ ජීවිතයට ඇතුලත්වන්නේ එහෙයින්ය. තරුණ වියට පත් යෞවනයෙකු සහ යෞවනියක අලූත් ජීවිතයක් අරඹන්නේ නීත්‍යානුකූලව විවාහ වීමෙන්ය. එය ඉතාමත් සතුටුදායක සහ පවුල් වශයෙන් එකතු වී ප‍්‍රීතිය භුක්ති විඳින අවස්ථාවකි. නමුත් නූතන සමාජයේ ඇතැම් කොටසක් විවාහ වන තීරණය ක්ෂණික එකක් වන අතර වෙන් වෙන්නට තීරණය කරන්නේ ද කිසිම බරපතලකමක් නැතිව හදිසියේය. විවාහය යන්න එකිනෙකට වෙනස් අර්ථ ඇති නීතිය ඉදිරියේ ද විවිධ අර්ථකථන සැපයිය හැකි එකක් බවට පත්ව තිබේ.

ඇමරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ නීති අනුව විවාහ වුවද දෙදෙනාට වෙන වෙනම නීතිය ඉදිරියේ අයිතිය ඇති ආකාරයක් බලපවත්වයි. ප‍්‍රංශය සහ නෙදර්ලන්තය වැනි රටවල් විවාහ යුවලකට තමන්ගේ දේපොල බදු හෝ වෙනත් ඕනෑම කාරණයක් හමුවේ විවාහ සහතිකය පැත්තකින් තබා කැමැති ආකාරයට ජීවත්වන තීරණ ගන්නට ඉඩ ලැබී තිබේ. පොදුවේ දේපොල භූක්ති විඳීම හෝ තනි කැමැත්තට අනුව තීන්දු ගත හැකිය. නවසීලන්තයේ නීති අනුව විවාහයට ඇතුලත්ව වසර කිහිපයක් ජීවත් වූ පසු විශේෂිත අයිතීන් සහ වගකීම් වලට බැඳීම් වලට නතු වෙයි. එහි අවසාන තීන්දුව සරල එකක් වන අතර අනෙකා කෙරෙහි බැඳී ජීවත් වෙනවා ද නොඑසේනම් ඕනෑම අවස්ථාවක දෙදෙනාට වෙන්ව ජීවත් වන්නට අයිතියක් තිබේද යන්න පිළිගැනීමයි.

මෙවැනි අලූත් පැති අනුව අවධානයට ගැනෙන පළමු කාරණය බවට පත්ව ඇත්තේ විවාහය නොව විවාහ නොවූ සහ වෙන්ව ජීවත්වන දෙමාපියන් ගෙන් උපත ලබන දරුවන් ගැනය. ජාත්‍යන්තරය තුළ විවාහ නොවූ පවුල් බිහිකර ඇති දරුවන් සහ එම දරුවන්ගේ අයිතිය ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. ජාත්‍යන්තර තොරතුරු අනුව දියුණු රටවල දරු උපත් පහකින් දෙකක් සහ ලතින් ඇමරිකානු රටවල තුන් දෙනෙකුගෙන් දෙදෙනෙක් අවිවාහක දෙමව්පියන්ගේ දරුවන් බව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. අවිවාහක දරුවන්ගේ ප‍්‍රතිශතය සමස්ත දරු උපත් වලින් සියයට දෙකක් බව ජපානයේ තොරතුරු අනාවරණය කරන විට ප‍්‍රංශයේ එම තත්ත්වය සියයට හැටක් බව කියැවේ. 2012 වසරේ දී දියුණු රටවල දරු උපත් වල සාමාන්‍යයෙන් අවිවාහක දෙමව්පියන්ට දාව උපදින දරුවන්ගේ ප‍්‍රතිශතය සියයට 60 ක් වී ඇති අතර එය 1970 දී වාර්තා වූ ප‍්‍රතිශතය මෙන් පස් ගුණයකින් ඉහළ එකක් බව අනාවරණය වෙයි. මෙවැනි උපත් වැඩි වෙන්නට බලපා ඇති ප‍්‍රධානම කරුණ නොයෙක් බටහිර රටවල විවාහය හුදු බැඳීමක් නොව රිසි පරිදි ජිවත්වීමට ඉඩ හදන පසුබිම තුළය.

සංකීර්ණ සමාජ ආර්ථික ව්‍යුහයක් තුළ මෙම සංවාදයේ කොටස්කරුවෙකු වෙන්නට රටට ද සිදුවී ඇත. ශ‍්‍රී ලංකාවේ පවා අවිවාහක යුවල පවරන වන්දි නඩු සහ දික්කසාද නඩු වැඩි ප‍්‍රමාණයකින් වාර්තා වෙන්නට පටන් ගෙන ඇත. අධිකරණ පද්ධතිය තුළ නීත්‍යානුකූලව වෙන්වෙන්නට අයැදුම් කරන නඩු ප‍්‍රමාණය සැලකිය යුතු ප‍්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර කරුණු විභාගකර දික්කසාද තීන්දුව දෙන්නට සෑහෙන කාලයක් ගත වීම ද සමාජ ගැටලූවක් බවට පත්ව ඇති අනෙක් කාරණාවකි.
විවාහය, විවාහ නොවී ජීවත්වීම සහ දික්කසාදය යන කරුණු වලදී දෙමාපියන් අත් පත් කරගන්නා ලිහිල ඉතාම මෘදු නමුත් දරුවන් මුහුණ දෙන ස්වභාවය කෙබඳු එකක්ද? පර්යේෂණ වාර්තා පෙන්වන්නේ එම දරුවන් අධ්‍යාපනය අතින් දුර්වල සහ හොඳ සෞඛ්‍ය තත්ත්වයක නැති බවය. රැකවරණයක් නැති දරුවන් බවට පත්ව ඇති බව අනාවරණය වෙයි. මෙම ස්වභාවය ඉතා නරක එකක් බව පර්යේෂකයන්ගේ අදහසයි.

දෙමව්පියන් නිසා අසරණ වන දරුවන්ගේ ජීවිත ලස්සන කරන්නේ කෙසේද? අද ජාත්‍යන්තරය තුළ පැන නැගෙන දහසකුත් එකක් බරපතල ගැටලූ අතරට එකතු වී ඇති අලූත් මාතෘනාවකි. ශ‍්‍රී ලංකාව මෙම තත්ත්වය ගැන ගැඹුරින් කල්පනා කළ යුතුය. තරඟකාරී අධ්‍යාපන රටාව හමුවේ මෙරට දරුවන් විඳින පීඩාව ගැන සමාජයට අත් දැකීමක් තිබේ. දෙමාපිය ආදාරය නැති දෙමාපියන් වෙන් වූ දරුවන් මෙම ක‍්‍රමය තුළ අසරණ වන ආකාරය ගැන විමසා බලා ඔවුන්ට රැකවරණය ගැන දැනට වඩා හොඳ අවධානයක් යොමු කිරීම සුදුසුය.

Advertisements