milinda-prashna

ලංකාදීප – 2016/01/13

සැනසිලිදායක රටක් බිහිකර ගැනීම සමාජය අපේක්ෂා කරන ඉතාම වැදගත් කාරණයයි. ආර්ථික සමාජ ප‍්‍රවාහය දෙස අවධානය යොමු කරන සිටින අතර තුර මතුවූ කාරණයක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. පවුලේ අය සමග සතුටින් වේදිකා නාට්‍යයක් බලන්නට හැකි පසුබිමක් තිබේද? හතර පස් දෙනෙකුගෙන් යුත් පවුලකට නගරයට ගොස් නාට්‍යයක් බලන අදහසක් ඇති විය හැකි නමුත් කැමැත්ත අනුව ක‍්‍රියාත්මක වෙන්නට නම් ආදායමෙන් සෑහෙන කොටසක් කැප කරන්නට සිදුවනු ඇත. මන්ද ප‍්‍රවේශ පත‍්‍රයක මිල දරා ගැනීම පහසු නැති හෙයින්ය. කලාව, වින්දනය සහ ඒ තුළින් සබුද්ධිමත් සමාජයක් බිහි කරන ක‍්‍රියාවලියට වේදිකාව දුරස්වීම සාකච්ඡාකළ යුතු කාරණයකි.

වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන්නේ මෙම සමාජයේ කොටස්කරුවන්ය. එහි රඟපාන්නේ මෙරට පුරවැසියන්ය. නාට්‍යයක් නිෂ්පාදනය කරන්නට සහ එය රට වටා ගෙන ගොස් රඟ දක්වන්නට පිරිවැයක් තිබේ. අද වන විට පවතින ජීවන වියදම නොසලකා එම පිරිවැයට අඩුවෙන් නාට්‍ය වේදිකා ගතකර පරිත්‍යාගශීලීන් හැටියට පෙනීසිටින්නැයි කියන්නට සුදානම් නැත. නාට්‍ය ශිල්පින් සහ එය වටා ඇති ආර්ථිකය යහපත් එකක් නොවේ නම් විශිෂ්ඨ නිර්මාණ බිහිනොවන බව ද පිළිගත යුතුය. මෙම අන්ත දෙක අතර ස්මබන්ධීකරණයක් ඇති කිරීම සියුම් අවශ්‍යතාවයකි. රටක් වශයෙන් ඉදිරියට ගමන් කරන විට රස වින්දනය සහ සබුද්ධික භාවය වෙනුවෙන් අර්ථපතිත්වය පුලූල් කරන ආකාරය ගැන සම්මුති ගොඩනැගීම අවශ්‍යය.

අනුග‍්‍රාහකත්වයෙන් තොරව කලාව පවත්වාගත නොහැකිය. අතීතයේ දී කලාව සහ කලාකාරීත්වය නඩත්තු කරන්නේ රජවරුන්ය. රජවරු සහ රදලයන් කලාවට අනුග‍්‍රහය දක්වන්නේ එහි පැවැත්ම වෙනුවෙන්ය. අද වන විට ආණ්ඩුවලට කලාව වෙනුවෙන් අනුග‍්‍රාහකත්වය සැපයීමට වගකීමක් තිබේ. නමුත් වර්තමාන ක‍්‍රමය අනුව ආණ්ඩුවේ අනුග‍්‍රහය ලැබෙන්නේ හිතවත් ශිල්පීන්ට විනා යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කරන සැබෑ කලාකරුවන්ට නොවේ. ජනතාව පිනවන නාට්‍යයක් තහනම් කර එහි නිර්මාණ ශිල්පීන්ට අඩත්තේට්ටම් කරන්නට සූදානම් ආණ්ඩු තමන් වෙනුවෙන් ප‍්‍රශස්ති ගයන කලාකරුවන්ට දහසින් බැඳී පියලි පිරිනමන්ට සූදානම්ය. ආණ්ඩුවට අනුබද්ධිත ආයතන අනුගමනය කරන්නේ ද එම ප‍්‍රතිපත්තියයි.

චිත‍්‍රයක් අඳින, නාට්‍යක් නිර්මාණය කරන ගීතයක් ලියන චිත‍්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් හදන ආදී වශයෙන් එකිනෙකට වෙනස් ආකාරයේ නිර්මාණ වලින් ජන වින්දනය ඇති කරන ක්ෂේත‍්‍රය දෙස අලූත් ආකාරයකට අවධානය යොමු කරන්නට කාලය එළැඹ තිබේ. ආණ්ඩුවට පමණක් නොව පුද්ගලික අංශයට ද වර්තමාන ව්‍යුහය තුළ තීරණාත්මක කාර්ය භාරයක් ඇත. කලාව නඩත්තු කරන වගකීමෙන් කොටසක් පුද්ගලික අංශය ඉටු කරන නමුත් එය පවතින තත්ත්වයට වඩා වෙනස් සහ පැතිරුණ මට්ටමකට යොමු කළ යුතු බව පෙනේ. සාමාන්‍ය දරු පවුලකට සති අන්තයේ නාට්‍යක් බලන්නට හැකි ආකාරයට ප‍්‍රවේශ පත‍්‍රයක මිල සාධාරණ කරන මැදිහත්වීමකට යා හැකිනම් එය ඉතාම වැදගත්ය.

ලෝකයේ වෙනත් රටවල එසේ සිදුවෙයි. ලොතරුයි ක‍්‍රම පවතී. හොඳ නාට්‍ය ශාලා නඩත්තු කරයි. නාට්‍ය පුහුණුවට ඉඩ ඇති තැන් තිබේ. ශිල්පීන්ට මුණ ගැසෙන්නට හා සංවාද සාකච්ඡා කරන්නට නිදහස් තැන් ඇත. වේදිකාවට තාක්ෂණය පැමිණ තිබේ. ලන්ඩන් නගරයේ ඉතා මිල අධික වේදිකාවක නාට්‍ය රඟ දක්වන විට ඉතා දුර බැහැර රඟහලක එම අවස්ථාවේදිම තාක්ෂණය මගින් තිරයක පෙන්වන ක‍්‍රම භාවිතා වෙයි. සම්මාන දිනන පමණක් නොව අති විශිෂ්ඨ නිර්මාණ වෙනුවෙන් අනුග‍්‍රහය දක්වන්නට නොයෙක් ධනවතුන් සහ ව්‍යාපාර පටු පරමාර්ථ වලින් තොරව එකතු වෙයි. එවැනි තීරණ ගන්නා අවස්ථාවල බදු සහන ලැබෙන අතර පොදු ජනතාව එවැනි අනුග‍්‍රාහකයන් කෙරෙහි කෘතවේදී වෙති. සමාජ අවශ්‍යතා අනුව රස වින්දනය ඇති කරන්නට සහ ඒ වෙනුවෙන් අනුග‍්‍රහය සම්පාදනය කරන්නට අලූත් ව්‍යුහ හැදේ. එයින් කලාව පෝෂණය වන අතර ජනතාව රස විඳින සහ අලූත් දේ දකින පිරිසක් බවට පත්වෙයි. රටක් දියුණු වෙන්නේ ඒ අනුවය. ජනතාවගේ හදවත් සුන්දරත්වයට පත්වන්නේ කලාව අත්විඳින තරමටය. නාට්‍යයක් බලන්නට නොඑසේනම් චිත‍්‍රයක් රසවිඳන්නට අවස්ථාව නැති හෙයින් චීන අවන් හලකින් කෑම වේලක් තෝරාගන්නා සමාජයක් බිහිවන පසුබිමක සමාජය සැනසිලිදායක වන්නේ නැත. රෞද්‍ර බවින් මිදී ඉවසිලිවන්ත තැනක් වෙන්නේ නැත.

Advertisements