milinda-prashna

2016/01/06 – ලංකාදීප

වානිජ අග නගරය වන කොළඹ අතිශය කාර්ය බහුල තැනක සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය පිහිටුවා ඇත. එහි ඉගෙනුම ලබන දරුවන් මුහුණ දෙන ගැටලූ ගණනාවක් ගැන සාකච්ඡා කරන්නට පසුගියදා අවස්ථාවක් ලැබිණ. එම තොරතුරු වලින් කියැවෙන කාරණා ඉතා සංවේදී ඒවාය. විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන්නේ බලවත් කැපවීමෙන් ඉගෙනගෙනය. දහසකුත් එකක් බාධක මධ්‍යයේය. තරගකාරී ක‍්‍රමය තුළ පාසලේ එකට ඉගෙනගත් වෙනත් දරුවන් වෛද්‍ය, ඉංජිනේරු හෝ තාක්ෂණ විෂයයන් තෝරා ගනිද්දී සෞන්දර්යය විෂයයකට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම සමාජ ආකල්ප අතර ද ඉහළ වටිනාකමක් පවුලට ඇති කරන්නේ නැත. එය ඉවත දැමිය යුතු පටු අදහසක් නමුත් යථාර්ථය එයයි.

එසේ තිබිය කලාව අධ්‍යයනය කරන්නට එතැනට එන දරුවන්ට ඉතා කුඩා බිමක ප‍්‍රමාණවත් නවාතැන් හෝ පොදු පහසුකම් රහිතව සෞන්දර්යය ඉගෙන ගන්නට පොළඹවා තිබේ. හිතේ නිදහසක් ඇති සේ ඉන්නට තැනක් නැත. හිතට දැනෙන ආහාරයක් ගන්නට තැනක් වටපිටාවේ නැත. අත දිගහැර නිර්මාණයක් කරන්නට පහසුවක් නැත. ගමෙන්, ඈත දුර බැහැරින් පැමිණි දරුවන්ට විශ්ව විද්‍යාලය අවට ඇති සංස්කෘතිය නොගැලපෙනවා පමණක් නොව එහි බැ‍ෙඳන්නට හැකියාව ද පහසු එකක් නොවේ. ආහාර, ඇඳුම් පැළැඳුම්, ගමන බිමන සහ කතා බහ යන කාරණා සියල්ලම ඇතුලත්වය. මන්ද මේ කියන වටපිටාව කොළඹ හත හෙයින්ය.
සෞන්දර්ය අධ්‍යාපනය විශ්ව විද්‍යාල කාමරයක් තුළ විඳින්නට හැකි එකක් නොවේ. එම විඳීම තුළ නිර්මාණ බිහිකරන්නට හැකි උත්පාදකයන් ද බිහි වෙන්නේ නැත. මෙම කෘතීම පරිසරය තුළින් විශිෂ්ඨයන් අපේක්ෂා කළ නොහැකි බව මෙම අදහස් හුවමාරුවේ දී අවබෝධ කරගන්නට ලැබුණ වැදගත්ම කාරණයයි.

රටක ආත්මය බිහිකරන්නේ කලාව සහ කලා ශිල්පීන්ය. දේශයක් නැගෙන්නේ විඳින්නට හැකි වින්දනාත්මක පරපුරකින්ය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා දරුවන් තුළ පවතින මෙම පීඩනය තුළ නිර්මාණ ශීල්පීන් වශයෙන් බිහිවෙන්නට වැඩි ඉඩක් ඇත්තේ වෛරී අදහස් ඇති පිරිසක් හැටියටය. එයින් සමාජයක් සනසවන්නේ කෙසේද? දැයක් අවදි කරන නිර්මාණ බිහිකරන්නට පුලූල් හදවත් බිහිකරන කෙම්බිමක් බවට සෞන්දර්ය විශ්ව විද්‍යාලය පත්වෙන්නට ඉඩ තිබේද?
පවතින ගැටලූ දෙස විමර්ෂණාත්මකව සලකා බලා අලූතින් හිතන්නට අවශ්‍යය. පවතින අවිධිමත් රාමුව වෙනස් කිරීම වැදගත්ය. දැයක් පුබුදුවන තැනක් වානිජ නගරයක සංකීර්ණ ආකාරයට පවතිනවාට වඩා වෙනස් නිදහස් පරිසරයකට යොමු කිරීම වැදගත්ය.

රජය පමණක් නොව පුද්ගලික අංශයේ දායකත්වය ද එයට ලබා ගත හැකි විය යුතුය. ධනය ඇති සමාජය කලාව වෙනුවෙන් මුහුවෙන තරම සීමිතය. ඒ වෙනුවෙන් සංවාදයක් ප‍්‍රතිපත්ති සම්පාදකයන්, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් සහ දරුවන් අතර ගොඩනැගෙන්නේ නම් කොපමණ යහපත් ද? වානිජකරණයට බිලි වූ නගරයේ බිම වානිජ්‍යත්වයටම පවරා අලූතින් සෞන්දර්යය සොයා යා යුතුය. එය විප්ලවීය තිරණයකි. නගරයෙන් එපිට අලූත් බිමක් සොයා ගෙන සෞන්දර්ය සහ කලා විශ්ව විද්‍යාලය අලූතින් ස්ථාපිත කරන්නට තීරණය කිරීම වැදගත්ය. සුන්දරත්වයෙන් අනූන වටපිටාවක් තෝරාගත හැකිය. නිදහස සහ නිර්මාණකරණයට ඉඩ දෙන ආකාරයට ගොඩනැගිලි සැලසුම් කළ හැකිය.

විශ්ව විද්‍යාලයක තිබිය යුතු මූලික නිදහස් වටපිටාව ආරක්ෂා වන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවා ඇති අන්දම එයට එක උදාහරණයකි.ලංකා විශ්ව විද්‍යාලය වශයෙන් ශ‍්‍රීමත් අයිවර් ජෙන්නින්ග්ස් මැතිතුමා අද පේරාදෙණිය යනුවෙන් හදුන්වන විශ්ව විද්‍යාලය සැලසුම් කරන්නේ අලූත් ගවේශණශීලීන් හදන තෝතැන්නක් වශයෙනි. එතැනින් බිහිවූ නිර්මාණවේදීන් අද මෙරටට ඥාණාලෝකය සම්පාදනය කරන විද්‍යාර්තීහුය.
කොළඹ අධික තදබදයෙන් සහ නාගරීකරණයෙන් සංකීර්ණ තැනක සිට සුන්දරත්වයෙන් අනූන තැනකට අවතීර්ණ වී දැයක් සනහන නිර්මාණ බිහිකරන්නට හේතු වන පසුබිමක් ඇති කළ යුතුය. එය පෙරළියක් කරන තීන්දුවක් බවට පත්කර ගැනීම සමාජ වගකීමකි.

Advertisements