milinda-prashna
2015/12/30 – ලංකාදීප
අප සියලූම දෙනා පසු කරමින් සිටින්නේ දෙසැම්බර් මාසයේ අවසාන දින කිහිපයයි. අවුරුද්දක් අවසන් කරමින් ක‍්‍රමයෙන් සමීප වෙන්නේ ඊළඟ යුගයවටය. විසි එක් වැනි සියවස ආරම්භ වූවා පමණකි. එහි අවසානය වසර 2100 දී සිදුවන විට අද ගත කරන ආර්ථික සහ සමාජ පසුබිම සම්පූර්ණයෙන්ම වෙනස් එකක් විය හැකි අතර එම පරිවර්තනය වැලැක්විය නොහැකිය. එම යුගයේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පරිසරය පරිවර්තනීය එකක් විය හැකිය. ආකල්ප වෙනස, එම පරිසරය තුළ ඉතාම වැදගත් සාධකය බවට පත් වන්නට ඉඩ තිබේ.

රාජ්‍ය සහ රාජකීයත්ව ආධිපත්‍ය තිබුණේ එදා සමාජයේය. ඉදිරි කෙටි කාලයේ දී එම ව්‍යුහය වෙනස් කර පුද්ගලිකත්වය සහ පුද්ගලික ව්‍යවසායකත්වය ඉදිරියට පැමිණෙන්නට ඉඩ තිබේ. තාක්ෂණය සහ සන්නිවේදනය ඒ වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත. සමාජ ගෝලීයකරණ ලක්ෂණ වල විවිධ පැති එය සාධක සහිතව ඔප්පු කර තිබේ. පුද්ගලයෙකු ගේ හඞ සහ පුද්ගලයෙකු ගේ දැක්ම ඉදිරි දශක කිහිපය තුළ ඉහළටම පැමිණිය හැකිය. එය උපරිමයට ළඟාවන විට ඇවැත්ම සහ පැවැත්ම වෙනස් රාමුවේ එකක් විය හැකිය. දෙසැම්බරය අවසානයේ ජනවාරි උදාවන විට සමස්ථය තුළ තේරුම්ගත යුතු වැදගත්ම කාරණය එයයි.
ඇමරිකාව සහ සෝවියට් දේශය සතුව තිබූ සුපිරි බල ව්‍යුහය ආසියාව තුළ බලවත් ආණ්ඩු බවට පත්විය හැකි බව පර්යේෂකයෝ දක්වන්නේය. එයට සමාන්තරව ඉදිරි කාලය තුළ ආසියාව කැපී පෙනෙන තලයකට පත්වනු ඇත. ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාව සහ ශ‍්‍රී ලංකාවේ උරුමය මෙම ව්‍යුහය තුළ පවත්වාගෙන යන්නට හැකි පසුබිම සකස්වන ආකාරයට රටට තුළ ආකල්ප පරිවර්තනයක් සිදුවිය යුතුය.
වසර 2030 වන විට සමස්ථ ලෝක ජනගහනයෙන් සියයට 88 කට විදුලිය බල පහසුකම් භුක්ති විදිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදුලිය බලය සොයා ගත් කාලයේ සිට බලන විට මුලූ ලෝක ජනගහනයේ ජීවිත ආලෝකවත් කරන්නට දිග කාලයක් ගතව තිබේ. එය තවමත් අවසන්ව නැත. 1996 දී ලෝක ජනගහනයෙන් සියයට එකකට අන්තර් ජාල පහසුව තිබුණි. 2014 වන විට එය ලෝක වාසීන්ගෙන් සියයට 40 ක් දක්වා පමණක් නොව දියුණු රටවල සියයට 80 දක්වා ජනගහනයක් අන්තර් ජාලය පරිහරණය කරන මට්ටමට තත්ත්වය වෙනස් වී තිබේ. විදුලිය පහසුකම් ලබාගැනීමේ වේගය ඉක්මවා දැනුම සහ සම්බන්ධතා පිළිබඳ අන්ධකාරයෙන් ලෝකයේ ජීවත්වන මිනිසුන් අත් මිදෙමින් පවතින යුගයකි. උදාවන අලූත් අවුරුද්දේ විශේෂත්වය එයයි.

ඉදිරියේ දී සූර්ය බලය බලශක්ති ප‍්‍රභවයන් අතර පළමු තැන ගනු ඇති අතර සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ විශාල වෙනස් ආකෘති බවට පත්විය හැකිය. ශ‍්‍රී ලංකාව තවමත් මේ ගැන අවධානය යොමු කර නැත. ආගමික සංහිදියාව, ආර්ථික අභියෝග ඉදිරියට පැමිණෙනු ඇත. සටන් පාඨ දේශපාලනය වෙනුවට අවස්ථාව සලකා රට හදන්නට උත්සාහ නොකළහොත් එය පසුබෑමකට හේතු වෙයි.
දුපතක මානසිකත්වය පැත්තකට කර සමාජ ගෝලීයකරණයේ කොටස්කරුවන් වශයෙන් හිතන්නට හැකි ශ‍්‍රී ලාකේය බවක් රටට සැබෑ දුප්පත්කම ඥානය විය හැකි අතර දැනුම ගවේශනය නොකරන සමාජය දුප්පත් තැනක් ලෙස සලකන්නට ඉඩ ඇත. අලූත් අවුරුද්ද උදා වන විට හිතා බැලිය යුතු පැත්ත එයයි.

පැරණි වට්ටෝරු දේශපාලනය සහ සමාජ සංස්කෘතික බැඳීම් ඉතිරි කරගෙන මෙම අලූත් රාමුවට ඇතුළු වෙන්නට හැකියාවක් නැත. ඒවා සහමුලින්ම කඩා බිඳ අලූත් තැනක් හදා ගැනීමද සුදුසු කාරණයක් නොවේ. පරිහරණය කරන මෙවලම් වල සිට සමාජ වටිනාකම් දක්වා වෙනස් වෙමින් පවතින අවකාශය තුළ ශ‍්‍රී ලංකාවේ තරුණ පෙල ඒ වෙනුවෙන් සූදානම් කිරීම ඉතාමත් වැදගත්ය. අලූත් ආකල්ප අවශ්‍ය නමුත් සම්ප‍්‍රදාය තුළ තිබූ වටිනාකම් වලට තැනක් තිබුය යතුය. මේ සියල්ල අභියෝගයකි. අලූත් අවුරුද්දේ තේරුම් තේරුම් ගත යුතු යථාර්ථය එයයි.

Advertisements