milinda-prashna

2015/12/23 – ලංකාදීප

නත්තලේ දී සරසන්නේ නත්තල් ගහ. නමුත් හැඩවෙන්නේ හිත. දෙව් මැදුරේදී දල්වන්නේ ඉටි පහන්. ආලෝකවත් වෙන්නේ හදවත්. මේ උදාවී ඇත්තේ උඳුවප් මාසය. තවත් දිනකින් නත්තල් අසිරිය ලොව පුරා පැතිරෙනු ඇත. ජේසු සමිඳානන් ගේ උපත කිතුනු භක්තිකයන්ගේ ජිවිතයේ සුවිශේෂී අවස්ථාවකි.ශ‍්‍රී ලංකාවේ එකිනෙකට වෙනස් ආගමික සහ සමාජ පරිසරය තුළ උත්සව නිතර පැවැත්වෙයි. ඒවායේ කොටසක් ආගමික ස්වරූපයක් ගන්නා අතර තවත් කොටස සංස්කෘතික ලක්ෂණ බහුලය. නත්තල් උත්සවය වෙනුවෙන් සූදානම් වන මෙකල නත්තලේ යථාර්තය කුමක්දැයි හිතන්නට ද අවශ්‍යය.

ජේසු තුමන් ලෝකයේ විසූ ප‍්‍රධානම ආගමික නායකයන් තුන් හතර දෙනා අතරින් එක් අයෙකි. ගව මඩුවක උපත ලබා, අල්පේච්ජ ජිවිතයක් ගත කර, නිහතමානීව අලූත් දර්ශනයක් ජනතාව හමුවේ තැබීය. අලූත් යමක් කියන විට නොඑසේනම් ප‍්‍රතිසංස්කරණයක් කරන අවස්ථාවක එය නොතකා සිටින්නට අද මෙන්ම එදා ද වටපිටාවක් තිබුණි. අලූත් දැක්ම දෙස බලන්නේ එය තර්ජනයක් වශයෙන්ය. සෑම ආගමකටම තිබූ අභියෝගය එයයි. ජේසුස් වහන්නේ කටු ඔටුණු පලන්දා, කටු මිටියෙන් තලා කුරුසයෙහි තබා ඇණ ගසන්නේ එහෙයින්ය.

ආගමික නායකයාණන්ගේ දළ පසුබිම එබඳු නමුත් නත්තල සමරන්නේ මහා උත්කර්ෂවත් ආකාරයටය. අද නත්තල වානිජකරණයට ලක්ව තිබේ. නැති තැනැත්තා සමග බෙදා ගැනීම තෑගි ගැනීමක් බවට පත්ව ඇත. දරුවන් දන්නේ නත්තල් සීයා ගැනය. භාණ්ඩ විකුණන්නට ද සේල් ගැන කියන්නට ද සංකේතය බවට පත්ව තිබේ. මේ සියල්ලට සීමාවක් තිබේ. ආගමික සම්ප‍්‍රදායට ඉහළින් සංස්කෘතික ලක්ෂණ මතුවෙන්නට පටන් ගෙන ඇති අතර එය නොඉවසිය හැකි සහ යම් ආකාරයකට නත්තලේ විකෘති ලක්ෂණ පාලනය කළ යුතු බවට අදහස් මතු වෙයි.

මෙම අදහස් නැගෙන්නේ මෙරට පමණක් නොව ලොව පුරා කොතැනක දී පවා ඇසෙන්නේ එම මතයයි. නත්තලේ අරුත අභියෝගයට ලක්කරමින් වානිජ පරමාර්ථ මතුවිම සහ තාවකාලික වාසි තකා උත්සවය සැමරීම අගෞරවයක් බව සලකන්නට ඇතැම් දෙනා නැඹුරු වී තිබේ. එය පිළිගත යුතු කාරණයක් සේ පෙනේ. මෙම ආකාරයට නත්තල වානිජකරණය වුවහොත් අනාගතයේ දී එය සම්පූර්ණයෙන්ම වෙළඳ උවමනාවක් බවට පත්විමට ඉඩ ඇත.

සැබෑ නත්තල කුමක්ද? නත්තල් දිනයේ සිදුවූ දේ වටහා ගැනීමය. ජේසු තුමන් ප‍්‍රකාශ කළේ අලූත් දර්ශනයකි. එම දර්ශනය තුළ දයාව නොතිබූ හදවත් වලට දයාව ද කරුණාව ගැන අසා නොතිබුණ තැන් වලට කරුණාව ද දක්වන්නාහ. දයාව කරුණාව අවශ්‍යව ඇති ශ‍්‍රී ලාකේය ජන සමාජය ද අලූත් ආකාරයට හිතන්නට අවශ්‍යය. නත්තල් ගස, නත්තල් සැරසිල්ල සහ අති විශාල සංදර්ශනාත්මක උත්සව ගැන වෙහෙසෙන ආකාරයටම තවත් හදවතකට උණුසුම් දැනෙන්නට ක‍්‍රියා කරන්නේ කෙසේදැයි හිතන්නට අවශ්‍යය.

නත්තල් ගසක් මිලදී ගන්නා විට එය මිලදී ගන්නට හැකියාවක් නැති දරු පවුල් ගැන හිතන්නට අපට ආත්ම ශක්තියක් උවමනායය. සැරසිල්ල වෙනුවෙන් තමන්ගේ ධනය හෝ ආණ්ඩුවේ ධනය වියදම් කරන විට එම සැරසිලි දැක සතුටු වෙන අය පමණක් නොව එම වියදම වෙන ආකාරයකට යෙදවීමෙන් සතුටු කළ හැකි ජිවිත ඇති බව සිහිපත් කරන්නට අවශ්‍යය. මෙම සියලූ කාරණා වලින් සාක්ෂාත් කළ යුතු ආගමික දර්ශනය විනා සංස්කෘතික ලක්ෂණ හුවා දැක්වීම නොවේ. දර්ශනය යටපත් කරගෙන අනවශ්‍ය දේ ඉහළට නැග වානිජවාදී ගති මතුවෙන විට සීමාවක් ඇතිනව එයට අනුගත වන්නට සමාජයට වගකීමක් තිබේ.

Advertisements