milinda-prashna

2015/12/16 – ලංකාදීප

අපි කරනවා, අපි දෙනවා සහ අපට පුලූවන් යන වචන වලින් වැඩිම ප‍්‍රයෝජනයක් ගන්නේ ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන්ය. එම වචන නාස්ති කරනවා වෙනුවෙන් වන්දි ගෙවන්නේ රටේ ආර්ථිකයයි. එම ආර්ථික රාමුව තුළ ජීවත්වෙන්නට ප‍්‍රයත්න දරන පොදු ජනතාවයි. ‘කරන්නට’ අවශ්‍ය නැත. කරගෙන යන්නට අවශ්‍ය පහසුව ඇති කිරිම ප‍්‍රමාණවත්ය.

ආණ්ඩුකරණය යනු ආණ්ඩුවෙන්ම හැම දෙයම ඉටුකරදීම නොව පුරවැසියන්ට තමන්ගේ දේ කරගැනීමට සාධාරණ අවස්ථාව ඇති කිරීමය. දේශපාලනඥයන්ගේ නියමයෙන් ආණ්ඩුවෙන් ‘දෙන්නට’ අවශ්‍ය නැත. මන්ද අත්‍යවශ්‍යම අවස්ථාවක විනා ජනතාවට සහන දෙන ඕනෑම දෙයකට මිලක් තිබේ. එම මිල වෙනුවෙන් බදු බර දරන්නේ සමස්ථ සමාජයයි. ‘අපට පුලූවන්’ කියන්නේ ද, සමස්ථ ආර්ථිකයම හසුරුවන්නට ආණ්ඩුවට පුලූවන් යන අර්ථයෙන්ය. උත්පාදනයක් කරන්නට පුලූවන්කමක් ඇත්තේ පුද්ගලික අංශයට බව අද ජාත්‍යන්තරය පිලිගෙන ඇති සත්‍යයයි.

මෙම පසුබිම අනුව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ ගැටලූව තරගකාරීත්වයක් නැතිකමයි. කාර්යක්ෂමතාවයේ ගැටලූ සහ ඵලදායීතාව සම්බන්ධ නොසැලකිල්ල බව පැහැදිලිව පෙනේ. නිෂ්පාදනය වැඩිකර සාධාරණ ප‍්‍රතිලාභ ජනතාවට බෙදා දෙන්නට රාමුවක් සකස් කිරිම ආණ්ඩුවේ වැඩ පිළිවෙල විය යුතු අතර තමන් ගැන සිතන, බලය ආරක්ෂා කරගන්නට තතනන සහ පටු දේශපාලන ව්‍යුහයෙන් ඉවත් විය යුතුය.

නිදහස ලබාගත් දිනයේ සිට මෙරට දේශපාලනඥයන් පුලූවන් බව කියමින් කල්ගත කළා පමණක් නොව සෑම මැතිවරණයකදීම සහන දෙන්නට ඇති තරම් පොරොන්දු දෙන්නේය. ලී ක්වාන් යූ මහතා ශ‍්‍රී ලංකාවේ මැතිවරණ යනු නැති සම්පත් වෙන්දේසි කිරීමක් බව කියන්නේ එහෙයින්ය. බලයට පත්වන ආණ්ඩු ආර්ථිකය අනුව පොරොන්දු ඉටු කරන්නට නොහැකි බව තේරුම් ගන්නවා පමණක් නොව ඉතාම අපහසුවෙන් පොරොන්දු ඉටු කර ආර්ථිකය තවත් අර්බුදයට පත් කරයි. දේශපාලනයේ ස්වභාවය එබදුය. දේශපාලනඥයන් කියන සහ ජනතාව සනසන බවට ශපථ කරන ආකාරයට සියල්ල සිදුවිය හැකිනම් අද වන විට රට කේතුමතී පුරයකි.
නමුත් රට තුළ ආර්ථික පීඩනය ඇතිවන විට උත්පාදනය සීමාසහිත වෙයි. රැකියා බිහි නොවේ. බදු බර වැඩිවෙයි. ජීවන වියදම ප‍්‍රශ්නයක් වන අතර අතෘප්තිය සහ අසහනය පැතිරෙයි. අද පෙනෙන්නේ මෙම ස්වභාවයයි. ආර්ථිකය මේ ආකාරයට පවතින්නට ඉඩක් නැත. එක මොහොතක ව්‍යුහය වෙනස් කරන්නට සිදුවෙයි. එය වෙනුවෙන් තද තීන්දු වලට එළැඹෙන්නට දේශපාලනඥයන් තීරණය නොකළහොත් ස්වභාවික විපතකින් එය සිදුවනු ඇති බව සදහන් කිරීම අවශ්‍යය. පොදු ජනතාවට ආර්ථිකය ගැන ඇත්ත කියා ඔවුන් සම්බන්ධ කරගෙන අලූත් ආර්ථිකයක් බිහි කිරීම නායකයන්ගේ වගකීමකි.

ග‍්‍රීසියේ ආර්ථිකය මුහුණ දුන් ස්වභාවය අවබෝධ කරගත යුතුය. ගැටලූ ඇතිවන විට ආර්ථික ප‍්‍රතිසංස්කරණ යෝජනා වූ අතර ඒවා මිහිරි තීන්දු නොවේ. ජනතාව ඉදිරියට ගොස් යථාර්ථය පෙන්වනවා වෙනුවට එම ප‍්‍රතිසංස්කරණ වෙනුවට වෙනස් දෙයක් කරන්නට අපටපුලූවන් යැයි කියා සිටි දේශපාලන පක්ෂයකට බලය හිමි විය. බලයට පත් අලූත් දේශපාලනයට ද උත්තර නැත. මුලින් තිබූ තත්ත්වයටත් වඩා නරක තැනක ඇති ග‍්‍රීසියේ ආර්ථිකයට දැන් කලින් තිබුණාටත් වඩා තද ප‍්‍රතිසංස්කරණ වලට මුහුණ දෙන්නට කැමැති වෙන්නට සිදුව තිබේ.

ආර්ථික ස්වභාව ධර්මය බලහත්කාරයෙන් පාලනය කළ නොහැකිය. සියල්ල තීරණය වෙන්නේ ඉල්ලූම සහ සැපයුම අනුවය. ගෝලීයකරණයට ලක්වූ සමාජය තුළ මෙම ස්වභාවය තවත් සංකීර්ණ බව තේරුම් ගැනීම වැදගත්ය. යථාර්ථය තව දුරටත් සැගවිය නොහැකිය. ජනතාව කරුණු දන්නා පිරිසක් බවට පත්ව ඇති යුගයක ගන්නා තීන්දු වල හොද නරක ඉතාම ඉක්මනින් පැතිරෙයි. එවැනි පසුබිමක දේශපාලනඥයන්ගේ වගකීම එකතු වී සාකච්ඡා කිරිමයි. පොරොන්දු අත හැර ආර්ථික ගැටලූ ගැන පුලූල් සංවාදයක් ඇරඹීමයි. බලය ආරක්ෂා කර ගැනීම වෙනුවට ආර්ථික නවෝදයක් වෙනුවෙන් තීන්දු ගැනීමයි. ඒ සදහා පුලූල් නායකත්වයක් පමණක් නොව එම නායකත්වය තේරුම්ගත හැකි ජන සමාජයක් ද රටට අවශ්‍ය කර තිබේ. අර්බුදය ඇති කරන ලද දේශපාලනඥයන්ට එය විසදන උපාය වෙනුවෙන් මෙහෙයැවෙන්නට වගකීමක් ඇත.

Advertisements