milinda-prashna

2015/12/09 – ලංකාදීප

ආර්ථික සහ සමාජය පවතින තත්ත්වයෙන් වෙනස් කරන කාර්යය පහසු එකක් නොවේ. සම්ප‍්‍රදායික රාමුවකට නතුව සිටින සමාජයේ එක් එක් අංශ වෙන් වෙන්ව සලකා අලූත් රාමුවකට යොමු කිරීම විප්ලවීය තීරණයකි. එම තීරණය ජනතාවගේ උන්නතිය වෙනුවෙන් බව ජනතාවට ඒත්තු ගන්වන්නේ කෙසේද? වඩා අපහසු කර්තව්‍යය එයයි. එවැනි අපහසුතාවයකට පසුබිම නිර්මාණය කරන්නේ ගතානුගතික අංශ අයිති කරගෙන සිටින කුඩා කණ්ඩායම් වල බලය බව පැහැදැලිය.

සමාජය තුළ පරිවර්තනකට ලක්විය යුතු ක්ෂේත‍්‍ර එසේ නොවී පැරණි ව්‍යුහ තුළ ඒ ආකාරයටම පවත්වාගෙන යාම අවාසි සහගතය. විශේෂයෙන් තරගකාරී ආර්ථික සහ සමාජ පසුබිමක් තුළ එමගින් ඇතිකරන්නාවූ පීඩනය සමස්ථ ජන සමාජයම අපහසුතාවයකට පත් කරන බව තේරුම්ගත යුතුය. මෙම තත්ත්ව හදුනාගෙන, අලූත් යුගයට ගැලපෙන ආකාරයට සකස් කරනන්ට තැත් කරන විට එකී ක්ෂේත‍්‍ර පාලනය කරන කුඩා කණ්ඩායම් නගන ඝෝෂාව බලවත් එකකි. පරිවර්තනයට නායකත්වය දෙන පිරිස මුහුණ දෙන බලවත් අභියෝගය එයයි. එය අධ්‍යයනය කළ යුතු පැත්තකි.

පෙනෙන ආකාරයට දැනට ගත කරමින් සිටින ක‍්‍රමයෙන් වෙනස් අලූත් පැත්තකට යොමු වෙන්නට කිසිවෙකු සූදානම් නැත. ශ‍්‍රී ලංකාවේ බලශක්තිය, ප‍්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, කර්මාන්ත, බැංකු සහ සහනාධාර ක‍්‍රම ඇතුළු සියලූ පැති යල් පැන ගිය රාමුවක ගමන් කරන ඒවාය. එම ක‍්‍රම ජාත්‍යන්තරය තුළ පවතින්නට රටට අවස්ථා සම්පාදනය කරන්නේ නැත. අකාර්යක්ෂමතාව හමුවේ ජනතාව ගෙවන වන්දිය බලවත්ය. කරුණු විමර්ෂණය කරන විට පෙනෙන යථාර්ථය එයයි.
රටට අවස්ථාව සම්පාදනය කරන සහ ආර්ථික සමාජ ක‍්‍රමය කාර්යක්ෂම කරන ආකාරයට මෙම පැති නව මුහුණුවරකට යා යුතුය. නමුත් මෙම තත්ත්වය වෙනස් කිරීමෙන් සිදුවන යහපත පොදු ජනතාව දන්නේ නැත.

පොදු ජනතාවට එවැනි යහපතක් අත්පත්වන බව අවබෝධ කරගන්නට උවමනා කරන සන්නිවේදනය සිදුවන්නේ නැත. එයට හේතුව පවතින ක‍්‍රමයෙන් යැපෙන, එම රාමුවෙන් තමන්ගේ අවස්ථා තහවුරු කරගෙන සිටින කුඩා කණ්ඩායමක් යම් වෙනස් කිරීමක් තුළ මහා විනාශයකට මගපාදන බවට භීතියක් ඇති කිරීමයි. සමාජය තේරුම් ගෙන ඇත්තේ මෙම කුඩා පිරිස ඇති කරන ඝෝෂාව තුළ නැගෙන පණිවුඩය විනා දීර්ඝ කාලීනව ලැබෙන යහපත නොවේ. ඒ අනුව ක්ෂේත‍්‍ර තුළ සිටින පාර්ශව වලට අවශ්‍ය ආකාරයට ප‍්‍රතිසංස්කරණයක් කළ නොහැකිය. එම පිරිස පවතින ක‍්‍රමයෙන් වෙනස් වෙන්නට කැමැත්තක් නැත. එහෙයින් ආර්ථික සහ සමාජ ප‍්‍රතිංස්සකරණ ගැන මෙයට වඩා පුලූල් ආකාරයට අවධානය යොමු කීරීම අවශ්‍යය.
විදුලිය ගැන විමසා බැලූවහොත් එහි පීඩනය දැනෙන පොදු ජනතාව වෙනස් විය යුතු පැති ගැන කියනු ඇත. අධ්‍යාපනය ගැන, ප‍්‍රවාහනය ගැන දන්නේ ජනතාවය. බස් රථයක ගමන් ගන්නා මගීහු එහි ඇති දුෂ්කරතාව දනී. දුම්රියක ගමන් ගන්නා පිරිස එම ක්ෂේත‍්‍රය වෙනස් කළ හැකි ආකාරය කියනු ඇත. පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළ යහපතක් සිදු නොවන බව දැන ගන්නා විට දෙමාපියන් පමණක් නොව දරුවන් ද ක‍්‍රමය මගින් අසරණ කර හමාරය. ප‍්‍රතිස්ංසකරණ කළ යුතු එක කෙළවරක සිටය. පහසු පැත්තෙන් පළමුව පටන්ගත යුතුය. සියලූම දේ එකවර කරන්නට උත්සාහ කිරීම තුළ එම ක්ෂේත‍්‍ර වලින් යැපෙන සියලූ දෙනා එකතුවී ප‍්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලට එහෙිව පෙළ ගැසෙන්නට ඉඩ සලසයි. එය ආණ්ඩුවට විරුද්ධ බලවේග පෙළගැසීමක් බවට පත්වනු ඇත.

ක්ෂේත‍්‍ර වලින් යැපෙන කණ්ඩායම් එකවර සම්පූර්ණයෙන්ම අමනාප කරගත යුතු නැති අතර වෙනසක් ඇති කිරීම තුළින් සමාජයට ලැබෙන ප‍්‍රතිලාභ එකින් එක වැටහෙන්නට ඉඩ දීම සාර්ථක පාලනයකට මග පාදයි. පවතින ක‍්‍රමය වෙනස් කිරීම තිත්ත අදහසකි. ඒවා මිහිරි නැති අදහස්ය. නමුත් දීර්ඝ කාලීනව ප‍්‍රතිඵල ලැබේ. සමාජය සම්බන්ධ කරගෙන අලූත් ආකාරයකට මෙම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය කරන්නේ කෙසේදැයි විමසා බලන්නට ද ඉවසිල්ලක් සහ පුලූල් දැක්මක් අවශ්‍යය. නැතිනම් අවසානයේ දී රටට ඉතිරි වෙන්නේ විරෝධතා පමණකි.

Advertisements