milinda-prashna

2015/12/02 – ලංකාදීප

බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා වශයෙන් හැඳින්වෙන්නේ ගී‍්‍රසියේ විසූ හිපොක‍්‍රටීස්ය. දෙවියන් අදහන සහ දෙවියන්ගේ කැමැත්ත බලවත් ආකාරයකට මුල් බැස තිබූ සමාජ ක‍්‍රමයක් ඉදිරියේ හිපොක‍්‍රටිස් වෛද්‍ය වෘත්තියෙහි නිරත වූ අතර ලෙඩ රෝග ස්වභාවිකව වැළදෙන අතර ඒ සඳහා දෙවියන්ගේ බලපෑමක් නැතැයි එළිපිට කියන්නට තරම් හෙතෙම නිර්භීත විය.

ජනතා සුවසෙත පරමාධ්‍යාශය කරගත් මෙම වෛද්‍යවරයාගේ අද්විතීය සේවාව සදාකාලිකව පවතින ලෙස හිපොක‍්‍රටිස් ප‍්‍රතිඥාව වෛද්‍ය වෘත්තියට උරුම වෙන්නේ එහි සුවිශේෂී බව හෙයින්මය. තුන්වන සියවසේ ග‍්‍රීක භාෂාවෙන් තිබූ මෙම ප‍්‍රතිඥාව අද නූතනයට ගලපා ඉංග‍්‍රීසි භාෂාවෙන් සකස් වී ඇත්තේ 1964 අවුරුද්දේ සිට බව සඳහන් වෙයි. ‘‘මම සමාජයේම කොටසක් වන බව මතක තබා ගන්නා අතර සියලූම මනුෂ්‍යයන් සම්බන්ධයෙන් එනම් නිරෝගීන් පමණක් නොව රෝගී වූවන් සම්බන්ධයෙන් ද වගකිමක් ඇත’’ යනුවෙන් එහි එක් වගන්තියකට අනුව දැක්වෙයි.

හිපොක‍්‍රටිස් ප‍්‍රතිඥාවට අත්සන් කරන හෝ නොකරන බවට වඩා වැදගත්වන්නේ මනුෂ්‍යයන්ගේ නාමයෙන් මෙකී උසස් වෘත්තියෙහි ගෞරවය ආරක්ෂා කිරීමය. නිරත ඉතා කැපවීමෙන් සේවය කරන, ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තියෙහි නිතර සුවිශේෂී පුද්ගලයන්ගෙන් ද මෙරට සමාජය අපේක්ෂා කරන්නේ දෙවියන්ගේ බලපෑමෙන් නොව ස්වභාවයෙන් වැළදෙන රෝග වෙනුවෙන් සත්කාරයයි.
මෙරට වෘත්තියෙහි නිරත වෛද්‍යවරුන්ට වරප‍්‍රසාද ලබාදීම ජන සමාජයට ප‍්‍රශ්නයක් නොවේ. නමුත් රජයේ වෛද්‍යවරු වර්ජනය කරන්නට සූදානම් වෙන්නේ වාහන බලපත‍්‍රයක් වැනි නොවටිනා දෙයකටය. සෙසු සියලූ වෘත්තීය අංශ තරමට හෝ එයටත් වඩා ප‍්‍රශ්න වෛද්‍ය ක්ෂේත‍්‍රයට ඇති බව පිලිගත හැකිය. නමුත් වාහන බලපත‍්‍රය සංකේතය බවට පත් විය යුතුද? වෛද්‍ය වෘත්තියේ පියා සේ අභිමානයෙන් සමරන හිපොක‍්‍රටිස් මෙවැනි තීරණ හමුවේ කඳුළු නොහෙලන බවට දිය හැකි සහතිකය කුමක්ද?

ජීවිතයක් බේරා ගැනීමට වෘත්තීය වගකීම ඇත්තේ ආණ්ඩුවේ ද, පුද්ගලික අංශයේ ද යන්න ජනතාව ප‍්‍රශ්න කරන්නේ නැත. කාල වේලාව නොසලකා දවස පුරා අවධානයෙන් සිටිමින් කරන සේවය අගය කරන අතර එය කිසිසේත් සමාන කළ නොහැකි කැපවීමක් වශයෙන් අගය කරන්නට ද මෙරට ජන සමාජය සූදානම්ය. එනමුත් පුද්ගලිකව හිමිකර ගත යුතු වරප‍්‍රසාද සම්බන්ධයෙන් වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට වෛද්‍යවරුන් ප‍්‍රවේශවීම අනුමත කරන්නේ නැත.
වැඩ වර්ජන, විරෝධතා මෙරට සංස්කෘතික ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. වෘත්තීය අරගල ඒවා නොතිබිය යුතු ගෞරවණීය සේවා වලට මුහු වී ඇත. වෛද්‍යවරු වර්ජන තීරණයක් ගන්නේ එහි පියවරක් වශයෙන්ය.

වෛද්‍යවරු සමාජයේ කොටසකි. වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය සපයන්නේ නොමිලේ ආණ්ඩුවේ වියදමින්ය. ආණ්ඩුවට එම වියදම කරන්නට බදු ගෙවන්නේ ජනතාවයි. ඇමරිකාව ඇතුලූ නොයෙක් රටවල් වෛද්‍ය සිසුන්ට ඉගෙන ගැනීමට ණය දෙන අතර පත්වීම ලැබුණ පසු එම ණය ආපසු ගෙවන්නට සිදුවේ. නොමිලේ උගන්වන මෙරට වෛද්‍ය පීඨයේ වියදම් මහජනතාව ගෙවන අතර පත්වීම ලැබුණ පසු බදු සහන සහිත වාහන බලපත‍්‍රයක් ලැබෙන්නේ වරප‍්‍රසාදයක් වශයෙන්ය. රජයේ සේවය කරන අතර පුද්ගලික චැනල් සේවයෙහි නිරත වෙන්නට ද අවස්ථාව ලැබේ.

මෙම කිසිම වරප‍්‍රසාදයක් ප‍්‍රශ්න කරන්නට සමාජය සූදානම් නැත. එපමණක් නොවේ චැනල් වෙනුවෙන් ගෙවා විනාඩියක් දෙකක් රෝග පරීක්ෂා කරන මෙරටට අනන්‍ය ආකාරය ගැන ප‍්‍රශ්න කරන්නේ ද, නැත. මුදල් ගෙවා වෛද්‍ය උපාධිය හදාරන්නට ඉඩ නොදෙන ආකාරයට රට තුළ විශාල මතවාදයක් ද පතුරවන්නේය.ශ‍්‍රී ලංකාවේ ආකල්ප සම්බන්ධ ගැටලූ තිබේ. තුන්වන සියවස තරම් ඈත කාලයක වෛද්‍ය විද්‍යාව මනුස්සකම පදනම් කරගත් එකක් නම් විසි එක් වැනි සියවසේ දී එය එසේ නොවෙන්නට හේතුව කුමක්ද? ගැටලූ ඇති අවස්ථාවල බුද්ධිමත් ආකාරයට ප‍්‍රශ්න විසඳාගත නොහැකිද?

Advertisements