milinda-prashna

2015/11/04 – ලංකාදීප

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙබඳු එකක් ද? බහුතරයකගේ කැමැත්ත බව කෙටියෙන් සඳහන් කළ හැකිය. අප අත් විඳින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැනට පවතින හොඳම පාලන ක‍්‍රමයක් ලෙස සැලකිය හැකි නම් පුරවැසි සහභාගීත්වයෙන් යහපත් ආකාරයට ක‍්‍රමය ගොඩනගන්නේ කෙසේද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග තහවුරු කරනු සඳහා ජනතාව සහ පාලකයන් අතර සංවාදය යහපත් ආකාරයකට ඇති කරන්නේ කෙසේද? මෙවැනි පැති ඔස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද පවතින අනන්‍යතාවය තේරුම් ගැනීමට උත්සාහ කිරීම ඉතා වැදගත්ය.

ස්විට්සර්ලන්තයේ වැසියෙකුගෙන් රටේ නායකයා කවුදැයි විමසුවහොත් උත්තරයක් ලැබෙන්නේ නැත. වැඩි දෙනෙකු රටේ ජනාධිපති කුවුදැයි හරියටම දන්නේ නැත. වැසියන් ඡන්දය දෙන්නේ අවුරුදු හතරකට වරකි. එයින් අලූත් පාර්ලිමේන්තුවක් පත් කරගනී. එම පාර්ලිමේන්තුව විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන එකකි. පාර්ලිමේන්තුවට පත්වන මහජන නියෝජිතයේ පක්ෂ පදනමින් තවත් හත්දෙනෙකු හඳුනා ගනිති. ඒ අය ස්විට්සර්ලන්ත ආණ්ඩුවේ ප‍්‍රධානීහුය. එරට ජනාධිපතිවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවේ සංකේතයකි. අවුරුද්දක් පාසා, තෝරාගත් නියෝජිතයන් හත් දෙනා අතරින් කෙනෙකු ජනාධිපති පුටුවේ වාඩි වෙයි. එය පිළිවෙලින් සිදුවන්නකි. ආණ්ඩුවේ ප‍්‍රධානම හත්දෙනා අතරින් ජනාධිපති හැටියට ඉන්නේ කවුදැයි නොදන්නා නමුත් රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය පවතින බව ස්ව්ට්සර්ලන්ත වැසියෝ දනිති. නිතර පවත්වන ජනමත විචාරණ එහි පදනම බවට පත්ව තිබේ.

ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණ පුරවැසියන්ගේ අදහස් දැනගැනීමට පමණක් නොව ඒ අනුව තීන්දු ගන්නට ද ඉඩ සලසා තිබේ. ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් විමසීමක දී පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දිය හැකිය. ඡුන්දය දෙන්නට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය අවශ්‍ය එකක් නොවේ. තමන්ට ලැබෙන පත‍්‍රිකාව පුරවා තැපෑලෙන් එවන්නට පහසුව තිබේ. පත‍්‍රිකා විවෘත කර මහජන අදහස අනුව බහුතරය ගේ කැමැත්ත තීරණය කරයි. යෝජනාව ක‍්‍රියාත්මක වෙයි. මෙම මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය එතැනින් අවසන් වන්නේ නැත. තමන්ගේ මතයට නිවැරදි පිලිගැනීම ලැබී නැති බව කිසියම් පුරවැසියෙකුට දැනෙන්නේ නම් ඔහු හෝ ඇය කළ යුතු දින සියයක් ඇතුලත තමන්ගේ අදහසට කැමැති පනස් දහසක පිරිසකගේ අත්සන් ලේඛනයක් සහිත පෙත්සමක් ඉදිරිපත් කර ආණ්ඩුව ගත් තීරණය ආපසු හරවන්නට සම්පූර්ණ අවස්ථාව තිබේ. පාර්ලිමේන්තුවේ අණ පනත් ඉදිරිපත් කිරීමේ ක‍්‍රියාවලියට සම්බන්ධ වෙන්නට පුරවැසියන්ට ද ඉඩ ඇති අතර උනන්දුවක් දක්වන කෙනෙකු ඇත්නම් අලූත් පණතක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ව්‍යවස්ථාවෙන් ඉඩ දී තිබේ. ව්‍යවස්ථාව නරක එකක් යැයි කල්පනා කරන්නේ නම් ලක්ෂයක් දෙනා එකතු වී ව්‍යන්‍ස්ථාව වෙනස් කරන්නැයි ආණ්ඩුවට යෝජනා කරනු ඇත. එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ විට එය සලකා බලන්නට පාර්ලිමේන්තුවට සිදුවන අතර ඒ ගැන විවාද කර යෝජනාවක් මහජන විචාරණයකට ඉදිරිපත් කරනු ඇත.

ස්විට්සර්ලන්තයේ මෙම ජනාධිපතිවරයා නොදන්නා පමණක් නොව පාර්ලිමේන්තුවේ ක‍්‍රියා පටිපාටියට කෙලින්ම මහජනතාවට මැදිහත් වෙන්නට ඉඩ ඇති ක‍්‍රමවේදය ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූ දෙනාගේම ඉමහත් අවධානයට ලක් වූ එකකි. එපමණක් නොව මෙවැනි කෙටි සඳහනකින් වටහා ගැනිමට පවා අපහසු සංකීර්ණ වශුහයකි. එයින් කාර්ය ඉක්මන් නොවන සහ නිතර මහජන මතය අහන හෙයින් තීරණ ගැනීම ප‍්‍රමාද වන බව වැසියන් හිතන්නේ නැත. නමුත් බහුතරයකගේ අදහස් විමසන හෙයින් සුළුතරයගේ කැමැත්ත යටපත්වන බවට මතයක් නැගී තිබේ. නොබෝදා පැවැති ජනමත විචාරණයක දී ඉස්ලාම් පල්ලිවල සංකේත ඉදිකිරීම අනවශ්‍ය බව තීරණය කරන්නේ සුළුතරයේ අදහස යටපත් කරමින්ය. මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්වාගෙන යන්නට අධ්‍යාපනය හා අවබෝධය ඉතා වැදගත්ය. පක්ෂ බේධයෙන් තොරව වැඩ කරන දේශපාලනයක් අවශ්‍යය. සමාජය සංකීරණ වෙන විට මෙම පැති කෙබඳු පැත්තකට නැඹුරු විය හැකිදැයි නොපෙනෙන නමුත් පුරවැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ වලට පදනම් වූ මෙම පැවැත්ම අවුරුදු එකසිය හැට පහකට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන එන අතර එය ආසියාවට හෝ ශ‍්‍රී ලංකාවට ගැලපේ යැයි කල්පනා කරන්නට අවශ්‍ය නැත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ එයට රාමුව සකස් කරන ව්‍යවස්ථාව ගැන නොයෙක් පැති වලින් දීර්ඝ කාලයක් තිස්සේ නොනවතින සංවාදයක් පවතී. ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් එම ව්‍යවස්ථාව අවශ්‍ය කරන්නේ පාලකයන්ට ද නොඑසේනම් ජනතාවට ද යන්න සලකා බලන්නේ නැත. ස්විට්සර්ලන්තයේ ආකාරයට රටක් පාලනය කරන්නට තීරණය කිරීම පහසු නැත. මහජන මතය විමසන අතර ඒ වෙනුවෙන් නිතිපතා වියදම් කරන්නට රටට හැකියාවක් නැත. ඉවසිලිවන්තව ඒ වෙනුවෙන් කැපවෙන සමාජයක් ද අපට නැත.

Advertisements