milinda-prashna

2015.09.30 – ලංකාදීප

දෙවැනි මහා ලෝක යුද්ධය පවතින කාලයේ ඉතාලියේ පැසිස්ට් නායක මුසෝලිනි එරට දුම්රිය වෙලාවට ධාවනය කරන බලහත්කාරී උපායක් අනුගමනය කළ බව ජාත්‍යන්තරය අදත් විශ්වාස කරයි. පැසිස්ට් පාලකයෙකු රට තුළ සාධාරණ පුද්ගලයෙකු බවට පත්වන්නේ එරට වැසියන් බලවත් පීඩාවට පත්කර තිබූ දුම්රිය සේවය හො`දටම වැඩකරන තැනට පත් කළ නිසාය. තහවුරු කරන සාක්ෂි නැතත් රියැදුරෙකුගේ හිසට වෙඩි තබා තද බලහත්කාරයකින් පසු වෙලාවට දුවන එකක් බවට දුම්රිය පත් කරන ලද බව කියැවේ.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවල තත්ත්වය ගැන ජනතාව තෘප්තිමත් නැත. විශෙෂයෙන් පුද්ගලික බස් සේවයයි. පොදු ප්‍රවාහනය හරි තැනට ගෙන එන්නට පැසිස්ට් ආකාරයට තීන්දුගන්නට අවශ්‍ය නැත. අයාලේ යන බව පෙනෙන පුද්ගලික බස් කර්මාන්තය නගා සිටුවීම ස`දහා ආණ්ඩුව නිසි නියාමන ක්‍රමවේදයකට යා යුතුය. පොලිසිය මහ පාරේ විනය ඇති කරන්නට නායකත්වය ගැනීම අවශ්‍යය.

ඉතිහාසයට අනුව මෙරට පුද්ගලික බස් සමාගම් තිබුණි. ඒවා එක් එක් පලාත් අනුව ක්‍රියාත්මක විය. දේශපාලන කාරණා මත එම බස් රජයට පවරා ගැනේ. ආණ්ඩුවේ බස් කර්මාන්තය පිරිහී පවත්වාගෙන යා නොහැකිතැනට පත් වූ පසු නැවතත් පුද්ගලික අංශයට ආයෝජනය කරන්නටඉඩ දෙයි. 1978 දී පමණ සිදුවූ එම වෙනසට සම්බන්ධවන්නේ මැද පෙරදිග ඇතුලූ රටවලින් යමක් උපයාගෙන රටට පැමිණි කුඩා ව්‍යවසායකයන්ය. බස් රථයකට ආයෝජනය කර එය ලාභ උපයන ආකාරයට පවත්වාගෙන නොගියහොත් අපේක්ෂා බිද වැටෙන ස්වභාවය තුළ මෙරට පුද්ගලික බස්රථ තුළින් අන් යමක් අපේක්ෂා කළ නොහැකිය.

බස් රථ සේවාවේ අකටයුතු ගැන මගී ජනතාව හා සමානව අවබෝධයක් නිලධාරීන්ට ඇත. නිලධාරීන්ට පමණක් නොවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද තිබේ. කාලය නාස්ති කරන, අධික හිරිහැරයකින් යුතු, උවමනා වෙලාවට ධාවනය කරන හා නැතිනම් නතර කරන මගී ප්‍රවාහන සේවාවක් ඇති රටක ආර්ථීක කාර්යක්ෂමතාව අපේක්ෂා කළ නොහැකිය. ප්‍රවාහන සේවා නිසි ආකාරයට නැති හෙයින් රට තුළ පාසල් සේවා සහ කාර්යාල සේවා යනුවෙන් අතිරේක වාහන මහ මගට පැමිණ ඇත. යතුරුපැදි තීවිලර් සහ මෝටර් රථ භාවිතා කරමින් වැඩට එන පිරිස ඉහළ යාමෙන් අධික වාහන තදබදයක් ද රටට බලපවත්වා තිබේ. විනයක් නැති ප්‍රවාහනය රටට සිදුකරන හානිය බලවත් එකක් බව බැලු බැල්මට පෙනේ.

රටක් දියුණු වන විට එය පිළිබිඹු විය යුතු මහා මාර්ගයෙන්ය. ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව හෝ ඉන්දියාව මෙයින් දශක දෙක තුනකට කලින් පැවැතියේ ද මේ තත්ත්වයේමය. පාරේ සංස්කෘතිය එම රටවලට මහත් හිරිහැරයක්ව තිබුණි. නමුත් දැන් මේ සියල්ල සංවිධානගතව තිබේ. සිංගප්පූරුව එය ආදර්ශවත් ආකාරයට පවත්වාගෙන යයි.

මැලේසියාවේ බස් ධාවනය විනයක් ඇති කරන්නේ එරට අගමැතිව සිටි මහතීර් මොහමඩ්ය. ඒ වන විට බස් රථ වෙනුවෙන් වෙනම මංතීරුවක් තිබිණ. නීති පනවා තිබූ අතර ප්‍රවාහන සේවා බලපත්‍ර නිකුත් කර පුද්ගලික සමාගම් පිහිටුවා තිබුණි. නමුත් බස් සමාගම් එම නීති සැලකිල්ලට ගත්තේ නැත. පාර පුරා ධාවනය කරන ලද අතර වෙලාවට ධාවනය කළේ ද නැත. එහි අපිලිවෙල මහජනතාවට හිරිහැරයක් බවට පත්විය. බස් සමාගම් වලට අනතුරු අ`ගවන ලද නමුත් පලක් නොවූ තැන මහතීර් මොහමඩ් මහතා තද තීරණයක් ගනී. ධාවන තීරුවේ ගමන් කරවීම හෝ නියමිත වේලාවට ධාවනය කිරීම එහි වගකීම බස් සමාගමේ අයිතිකරුට පැවරීමය. එම නීතිය කඩකරන බස් රියැදුරන්ට දඩ කොළ ලියනවා වෙනුවට බස් අයිතිකරුවන්ට දඩුවම් පමුණුවත තීරණය ගනී. එපමණක් නොව අගමැතිවරයා කෙලින්ම බස් සමාගම් වල අයිතිකරුවන්ට කතා කරන්නට පටන් ගත්තේය. සතියක් දෙකක් යන විට එය බලවත් ගැටලූවක් බව වටහා ගත් අයිතිකරුවෝ යතුරු පැදි වල නැගී තම බස් නිවැරදි ආකාරයට පාරේ ගමන් කරනවා දැයි සොයන්නට පටන් ගත් අතර කෙටි කාලයක් තුළ පොදු ප්‍රවාහන සේවා විධිමත් බවට පරිවර්තනය කළ හැකිවිය.

අද රටට අවශ්‍ය මෙවැනි තද තීරණ බව පෙනේ. මගී ප්‍රවාහනය තනි බස් රථ වෙනුවට සමාගම් බවට පත්කර කළමණාකරනය කරන්නට අවශ්‍යය. නීති කඩන සහ බලහත්කාරයෙන් ධාවනය කරන බස් රථ රියැදුරුට, කොන්දොස්තරට පමණක් නොව බස් අයිතිකරුවන්ට ද, දැනෙන ආකාරයේ ද`ඩුවම් ක්‍රමයක් හ`දුන්වා දිය යුතුය. එවැනි ක්‍රමයකින් විනා මහ පාරේ විනයක් හදන්නට බැරි තැනට තත්ත්වය බරපතල වී තිබේ.

Advertisements