2015-08-26 – ලංකාදීප

ශ‍්‍රී ලංකාවේ සර්ව ජන ඡන්ද බලය දශක දහ අට ඉක්මවා තිබේ. එදා සිට මෙදා දක්වා ඡන්ද විමසීමේ  වාර ගණනින් අත්දැකීම් ගැන අවබෝධයක් ලබා ගත හැකිය. ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව ඡුන්ද බලය හිමිවන්නේ සමාජයේ එක්තරා කොටසකට පමණී. ධනවත් සහ ඉඩම් හිමි පැලැන්තියටය. එවිට ජනගහනයෙන් සියයට දෙකකට අඩු කොටසකට ඡුන්දය ඉල්ලන පමණක් නොව ඡුන්දය පාවිච්චිකර නියෝජිතයන් මන්ත‍්‍රණ සභාවට පත් කරගැනීමේ වරම හිමිවී තිබූ බව ඉතිහාසය දක්වයි. ක‍්‍රමයෙන් විකාශය වූ ඡන්ද බලය වර්තමානයේ එක්තරා සන්ධිස්ථානයකට පැමිණ තිබේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයේ සංකීර්ණ බව දක්වයි. එසේම පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ගමන් කළ යුතු මෙහොත උදා වී ඇති බව ද පෙන්වයි.

නොබෝදා අවසන් වූ පාර්ලිමේන්තු මහ මැතිවරණය පමණක් නොව ජනවාරි මාසයේ දී අවසන් වූ ජනාධිපතිවරණය මෑත ඉතිහාසයේ එක්තරා සන්ධිස්ථානයකි. දශක තුනක් ත‍්‍රස්තවාදී ගැටුම් සහිත පසුබිමක සිට සාමකාමී යුගයක පවත්වන ලද මැතිවරණ වශයෙන් සදහන් කළ හැකිය. යුද්ධය අවසන් වූ වහා දිවයිනේ සියළු පුරවැසියන්ගේ ඡුන්දය විමසන මැතිවරණ පැවැත්වූ නමුත් එහි ප‍්‍රතිඵලයට සටන් බිම බලපෑමක් විය. එකපැත්තකින් ත‍්‍රස්තවාදය පරාජයට පත් වීමේ උත්කර්ෂය වූ අතර අනෙක් පැත්තෙන් ගැටුම් හෙයින් අපහසුතාවයක් ඇති වූ පිරිසගේ අතෘප්තිය ප‍්‍රතිඵලය කෙරෙහි බලපෑමක් කරන්නට ඇත.

අන්ධකාරයෙන් ආලෝකය කරා පැමිණි ක්ෂණයෙන්, ඇස් ආලෝකයට හුරුවීම එකවරම සිදුනොවන්නා සේ ම භීතියෙන් සහ ආස්වාදයෙන් සිටි පුරවැසියන් සාමකාමී යුගයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බලය කෙරෙහි ද නුහුරු වී සිටී. එකිනෙකට වෙනස් මත නැගී එකී මත තොරතුරු තාක්ෂණ යුගයේ සංවාදයක් බවට පත්වීම නිරීක්ෂණය කළ හැකිවිය. ඡන්දදායකයන් අතරමං වූ බව දැකිය හැකිය. එසේ සිදුවූයේ සත්‍ය සහ අසත්‍ය අතරය. සාමාන්‍ය ආකාරයට හිතන නම්‍යශීලී නායකයන්ට වඩා  අතිවිශාල බලයක් ඇති නායකත්ව ජනතාව හමුවේ පෙනී සිටියේය. අදහස් ඉදිරිපත් කිරීමේ දී අධිපතිවාදී මානසිකත්වය පිළිබිඹු වූ අතර ලජ්ජාව හා බය ගැන නොසලකා පුන පුනා අසත්‍ය ප‍්‍රකාශ කිරීම බහුල කාරණයක් විය. එකිනෙකා පරාද කර, තනි තනිව රජ වෙන්නට යන ආත්මාර්ථකාමී ක‍්‍රමයකින් රටක් ගොඩනගන්නට හැකි දැයි විමසා බලන්නට අවශ්‍යය.
ලෝකයේ පැවැත්ම සාධනීය එකක් බවට පත්ව ඇත්තේ පරිත්‍යාගය හෙයින්ය. පරාර්ථකාමීත්වය හා කැපවීම ඉදිරියේය. අනුන්ගේ විපත තමන්ගේ සැපත බවට පත් කරගැනීමට උත්සුක නොවන පසුබිමක් හමුවේ බව සදහන් කළ යුතුය. පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයක් බිහි කළ හැක්කේ පුලූල් හදවත් ඇතිව ගැඹුරෙන් හිතන්නට හැකි නායකයන්ටය. නායකයන් රටක් ගොඩ නගන තෙක් අලූත් හුස්මක් ගෙන ඉවසන්නට හැකි සමාජයකටය.

මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව ප‍්‍රධාන දේශපාලන පක්ෂ  දෙකටම රට තුළ මතයක් ඇති බව පෙනේ. එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන ද පුරවැසියන්ට බලාපොරොත්තු තිබේ. ජනතා විමුක්ති පෙරමුණට, දෙමල හා මුස්ලිම් පක්ෂ වලට විශාල ආත්ම ශක්තියක් සහ මතයක් ඇති බව ජනතාව පිළිගෙන ඇත. වෛරී දේශපාලනයට ඉඩක් නැති බව සහ සමගියෙන් වැඩ කරන්නට ඉඩක් තිබෙන බව ජනමතයෙන් පිළිබිඹු වන ප‍්‍රධාන කාරණයකි.

එක පක්ෂයකට වැඩි බලයක් නොදෙන්නට තීන්දු කිරීමෙන් පොදු ජනතාව නියම කර ඇති ඉරණම වටහා ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් ඉහළට ඔසවා තබන පියවරක් විය යුතුය. බලය වැඩිපුර ඇති පක්ෂය අනෙක් තැනකින් කොටසක් කඩා ගෙන බලය තහවුරු කරගැනීම වැදගත් නැත. බලය අඩු පක්ෂයට ආණ්ඩුව පවරා අසාර්ථක වන විට ඩැහැ ගැනීමට කල්පනා කිරීම ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය උගන්වන පාඩමක් නොවේ. අලූත් පැත්තක් ගැන හිතන්නට අවශ්‍යය. ජනතාව ඡmilinda-prashnaන්දය දෙන්නේ රාජ්‍ය අසාර්ථක කර අභාග්‍යය අපේක්ෂාවෙන් නොවන අතර ජනතා බලාපොරොත්තු සාක්ෂාත් කිරීම දේශපාලන පක්ෂ සහ ඒවායේ නිරත දේශපාලනඥයන්ගේ බලවත් යුතුකමකි.

ආණ්ඩුව, විපක්ෂය සහ අනෙක් මත දරන දේශපාලන පක්ෂ අවස්ථාවාදී නොවන තීන්දු ගෙන ජනතාවගේ ගෞරවය දිනා ගැනීම මේ අවස්ථාවේ ඇති වැදගත්ම අරමුණ සේ දැකිය හැකිය. රට තුළ පවතින ආර්ථික සහ සමාජ ගැටලූ සතියකින් දෙකකින් විසදා ගන්නට හැකියාවක් නැත. ඇතැමි ගැටලූ වලට විසදුම් ගණනාවකි. තද තීන්දු ගන්නට සිදුවෙයි. ඒවා මිහිරි යෝජනා නොවේ. කර්කශ බැරූරුම් තීන්දුය. පක්ෂ කිහිපයක් එකතු වී රට ගොඩනගන අරමුණ ඇතිව ක‍්‍රියාකළහොත් උදා වී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවකි. තද තීන්දු ගෙන සමාජයේ මේ දක්වා පැතිරී ඇති පැල්ලම් මකා අලූත් සමාජයක් ගොඩනගන්නට හැකියාව තිබේ. ඒ වෙනුවෙන් සංවාදයක් ඇති කරන්නට දේශපාලන නායකයින් නැඹුරු විය යුතු අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය පරිනත තැනකට කැදවීමකි.
මිලින්ද මොරගොඩ
http://www.milindaprashna.wordpress.com

Advertisements