milinda-prashna

ලංකාදීප – 2015/07/01
පුර පසලොස්වක පොහෝ දිනය නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශ කරන්නේ ඇයි? බෞද්ධ රටක් වශයෙන් හතර පොහෝ දින සහ පුර පොහොය දිනයෙහි ධර්මානුකූලව ගත කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින බව නිසැකය. බුදු දහම මෙරටට රැගෙන එන්නේ මිහි`දු මහ රහතන් වහන්සේ ප‍්‍රධාන දුත පිරිසකි. දේවානම් පියතිස්ස රජ තුමන් බුදු දහමෙහි පැහැදී එය වැළ`දගෙන පුර වැසියන්ට ද එයට ඉඩ දෙන බව ඉතිහාසය සාක්ෂාත් කරයි. පුර පොහෝ දිනය වැදගත් දිනයක් සේ සලකන සමාජ භාවිතාවක් බුදු දහම මෙරටට පැමිණි දිනවල සිට පැවතියේ දැයි විමසා බලන්නට සුදුසුය.

ලොව පුරා බෞද්ධ රටවල වෙසක් දිනය විශේෂිත දිනයක් සේ සලකයි. ශ‍්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් බොදු ප‍්‍රතිපත්ති අනුව දාන ශීල භාවනා වැඩ සටහන් පැවැත්වෙන්නට ඇත. යටත් විජිතයක් බවට පත්වූ පසු බෞද්ධ අයිතීන් අහෝසි වන අතර අන්‍යාගමීක ලක්ෂණ සමාජය තුළ තහවුරු වෙයි. දීර්ඝ කාලයක් කරන ලද ඇවිටිලි අවසානයේ දී 1885 අවුරුද්දේ බි‍්‍රතාන්‍ය පාලකයන් රටට වෙසක් නිවාඩුව ප‍්‍රකාශයට පත් කර ඇත. එයට මුල පුරන්නේ ඔල්කට් තුමා මෙරටට පැමිණ අරඹන බොදු ප‍්‍රබෝධය බව ස`දහන් කළ යුතුය. නිදහස ලබා සෑහෙන කාලයක් ගත වූ පසු එනම් 1966 අවුරුද්දේ දී සෑම මාසයකම පුන් පොහෝ දිනය රටට නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශ්‍යට පත් කරන ලද බව ඉතිහාසය පෙන්වා දෙයි.

පොහොය නිවාඩුවක් ප‍්‍රකාශයට පත් කරන්නේ බහුතරයක් වූ බෞද්ධ ජනතාවට ස්වකීය ආගමික වතාවත් අනුව ජීවිතය නැඹුරු කරගන්නට වැඩ කරන මාසය තුළ ස්ථිර දිනයක් වෙන්කර දීම සුදුසු බව තීරණය කළ හෙයින්ය. සමාජය තුළ ඒ වෙනුවෙන් තදබල ඉල්ලීමක් නොතිබුණා නම් එවැනි අවස්ථාවක් හිමිනොවන බව ද අවබෝධ කරගැනීම වටී. නමුත් වර්තමාන සමාජයේ පැවැතුම් දෙස බලන විට පොහොය දිනය තවත් එක් නිවාඩු දවසක් පමණක් බව නිරීක්ෂණය කළ හැකිය.

දන්සැලට, තොරණට බලවත් උනන්දුවක් දක්වන නමුත් පොහොය දිනයේ අරුතට බොදුනුවන් අතුරින් සැලකිය යුතු ප‍්‍රතිශතයක් උනන්දුවක් නොදක්වන බව පෙනේ. එය සැලකිය යුතු කාරණාවකි. බෞද්ධ වතාවත් අනුව පන්සිල්, අට සිල් දස සිල් සහ කෝටියක් සංවර ශීලය වශයෙන් අවස්ථා අනුව දහමෙහි හැසිරෙන්නට පදනම් පවතී. පංච ශීලය ආරක්ෂා කරන බුදුන් සරණ ගිය ජනතාව බෞද්ධයන් වන්නා සේ ම නැවත ඉපැදීමක් නැති අමා මහ නිවන අපේක්ෂාවෙන් ගිහියන්ට ආරක්ෂා කළ හැකි වතාවත් සහ ගිහිගෙයින් නික්ම රක්ෂා කළ හැකි ප‍්‍රතිපත්ති බුදු දහමට අනුව තිබේ. මේවා අන්තවාදී නැති මැදහත්ව සිතා තීරණගත හැකි ප‍්‍රතිපත්ති බව පැහැදිලිව පෙනේ.

පන්සිල් රකින ගිහියන්ට පොහොය වැනි දිනයක අට සිල් ආරක්ෂා කර සිය ජීවිතය සකස් කර ගැනීමට ඉඩ තිබේ. අවශ්‍යනම් දස සිල් ආරක්ෂා කරන බවට තමන්ටම පොරොන්දු වී එය ඉටු කළ හැකිය. ගිහි ගෙයින් නික්ම කෝටියක් සංවර ශීලය ආරක්ෂා කරන බවට පොරොන්දුවක් දෙන්නේ ශාසනයට ඇතුළු වූ මහා සංඝ රත්නයයි.අද වැනි පොහොය දිනයක එකිනෙක තලයේ ගිහි පැවිදි බෞද්ධයන් අවංකව ආරක්ෂා කරන්නේ දහමෙහි අනු දැන වදාරන කවර කොටසක් දැයි අප සියලූම දෙනා එකිනෙකාගෙන් ප‍්‍රශ්න කරගත යුතු මොහොත උදා වී තිබේ. එය ඉතාමත් වැදගත් ශාසන හිතකාමී තීන්දුවක් වනු ඇත.පන්සල වෙනස් වී රජමහා විහාරය, ආරාමය, ධර්ම නිකේතනය සහ බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු නොයෙක් තැන් බවට පත්ව තිබේ. පහන් පූජාව අසූ හාර දහස් දක්වා ද මල් පූජාව, නෙළුම්, පිච්ච දස ලක්ෂ ගණනින් පූජා කරන ආකාරයට ද සකස් වී ඇත. ශීල සමාදානය, බෝධි පූජාව, අට පිරිකර පිරිනැමීම, ධාතු වන්දනාව පමණක් නොව චෛත්‍ය වන්දනාව ද එකිනෙකට වෙනස් සැදැහැවතුන් ආකර්ශණය කරගන්නා බලවත් ආකාරයකට වෙනස් වී තිබේ.

බුදු දහම ප‍්‍රායෝගික එකකි. එය පවතින්නේ අණ කිරීම හෝ බල කිරීම අනුව නොවේ. දර්ශනය අවබෝධ කරගෙන එයට අනුව ජීවිතය හැඩගසා ගැනීම වැදගත්වන අතර සමාජ උද්දීපනය ඇති කරන සහ ධර්ම ප‍්‍රබෝධය වඩවන උත්සව වලින් ප‍්‍රයෝජන ඇති කරනවා පමණක් නොව පිරිහීමට හේතුවන බව වටහා ගත යුතු අවබෝධයෙන්ය. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ධර්මයෙහි සරණ හැර අන් සරණක් නැත. ධර්මය කුමක්දැයි ඇදහීම නොව එය ප‍්‍රශ්න කර යථාව බෝධය ඇති කරගන්නට ද ඉඩ තිබෙන හෙයින් බුදු දහම ගැන සහ බොදුනුවන්ගේ ක‍්‍රියා පටිපාටි ගැන අද වැනි පොහොය දිනයක සාකච්ඡා කළ යුතු අප විසින්මය.

Advertisements