milinda-prashna

2015/06/10 – ලංකාදීප

නිවසට අමුත්තෙකු පැමිණි විට බත් කටක් දී ආපසු යැවීම ශ‍්‍රී ලාංකේය ජන සංස්කෘතියේ වැදගත් ලක්ෂණයකි. පහුගිය පරම්පරාව හාල් ලිප තබා බතක් උයන්නේ නිවැසියන්ටම පමණක් ප‍්‍රයෝජනයට ගන්නා පර්මාර්ථයෙන් නොවේ. කොතැනකින් හෝ අමුත්තෙකු කඩුල්ල පැන පැමිණ වේලක් කා බී සතුටු වී යනු ඇතැයි අවධානයෙන් සිටි පරපුරේ වැඩිහිටියෝ අදටත් මෙරට හි`ග නැත. අමුත්තෙක් නොපැමිණිය ද පිසූ ආහාර ඉවත දමන්නේ නොසතුටෙන් නොවේ. සතෙක් සීපාවෙක් හෝ අනුභව කරනු ඇතැයි අපේක්ෂාවෙන්ය. කන බොන දැයෙන් අඩුවක් නැතිව සිටි රටට ආහාර පරිභෝජනය පමණක් නොව අරපරෙස්සම ගැන ද හිතන්නට සිදුව තිබේ.

ආහාර රටාව වෙනස් කළ යුතු වන ලෙස ශක්තිය වැය කිරීම වෙනස්වී ඇති බව සලකා බැලිය යුතු එක පැත්තකි. මෙයින් දශක කිහිපයකට කලින් ඇ`ග පත වෙහෙසවා වැඩ කරන ලද පුරවැසියන්ගෙන් බහුතරය අද වායු සමනය කරන ලද කාර්යාලයක හෝ වැඩිපුර වෙහෙසෙන්නේ නැති සේවාවක නිරතය. විශාල ප‍්‍රමාණයක් ආහාර ගෙන ඒවා දහනය වන ආකාරයට වැඩ නොකර සිටින සිරුරු අධික තරබාරු පමණක් නොව නොයෙක් ලෙඩ දුක් වලට ද ගොදුරු වන්නට පටන් ගෙන ඇත. කාබෝහයිඩ්‍රේට් ආහාර අඩු කර එලවලූ වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු බව වෛද්‍ය නිර්දේශයයි. බත් වැඩිපුර ආහාරයට නොගැනීම සහ හැකිතාක් තන්තු බහුල ආහාර ගැනීම සුදුසු බව ද වෛද්‍යවරු පෙන්වා දෙති. අනෙක් පැත්ත ලෝකය පුරා ආහාර හි`ගයක් සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හෙයින් මතුව ඇති ගැටලූ හෙයින් අපතේ නොයවා පරිභෝජනය වැදගත් එකක් බවට පත්වීමය. රට තුළ සහල්, එලවලූ සහ පලතුරු නිපදවීමේ දී විශාල ප‍්‍රමාණයක් අපතේ යන බව ගණන් බලා ඇති අතර භෝජනාගාර වල දී පිසූ ආහාර අපතේ යාම තවත් ගැටලූවක් බව නිරීක්ෂණය කළ හැකිය. අහාර නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා අලූත් ආකාරයකට හිතන්නට අපට සිදුවන බව අවබෝධ කරගැනීම වැදගත්ය.

නොබෝදා ප‍්‍රංශ පාර්ලිමේන්තුව ආහාර අපතේ හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළේය. එහි සම්මත කරන ලද නීතිය අනුව සුපිරි වෙළ`ද සැල්වල ආහාර අපතේ යවන ආකාරයට කටයුතු කිරීම වරදකි. මෙම නීතිය සම්මත වන වකවානුව වන විට ද සුපිරි වෙළ`ද සැල් සිය පිසූ ආහාර වර්ග යම් කාලයකට පසු ඉවත් කරන්නට කලින් දුප්පතුන් සහ වෙනත් ප‍්‍රයෝජනයට ගත හැකි තැන් වලට යොමු කරන ලද බව ස`දහන් වන නමුත් එසේ තිබිය දී පවා අපතේ යන ආහාර ප‍්‍රමාණය සැලකිය යුතු තරම් බව නිරීක්ෂණය කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා ඇති ආකාරයට නිපදවන ආහාර වලින් තුනෙන් එකක් ප‍්‍රයෝජනයට නොගෙන අපතේ යන්නේය. එය ඒවා නිපදවන්නට වියදම් කරන ලද බලශක්තිය හා ශ‍්‍රමයට පමණක් නොව පරිසරයට ද බලවත් හානියක් බව ස`දහන් කරයි.

කුස පුරවා ගන්නට ඇති තරම් ආහාර ඇති ඉසුරුවන්ත මිනිසුන් සේ ම විශාල ජන කොටසක් දිනපතා තමන්ගේ දෛනික අවශ්‍යතාවය සපුරා ගන්නට ආහාර නැති කමින් බලවත් දුක් වි`දින වකවානුවක් උදා වී තිබේ. එවැනි තත්ත්වයකට ලෝකය පත්වන්නේ ඉකුත් වසර හැට තුළ ජනගහනය අධික ලෙස වර්ධනය වීම සමගය. මෙම ජනගහනයට ප‍්‍රමාණවත් ආකාරයට ආහාර නිපදවා ගැනීම ප‍්‍රශ්නයක් වන තත්ත්වයකය.
ශ‍්‍රී ලංකාවේ සමාජ පසුබිම අනුව ආහාර වේලක් යනු බරපතල ප‍්‍රශ්නයක් නොවේ. ලෝකයේ වෙනත් රටවල මෙන් දස දහස් ගණනින් වැසියන් කුස ගින්නේ දුක් වි`දින්නේ නැත. එහෙම නමුත් ආහාර මිල ගණන් වැඩිවීම සහ පරිභෝජනය කරන ආකාරය සම්බන්ධ ගැටලූ තිබේ.

ආහාර සුරක්ෂිතතාවය ගැන නොසලකා හැරීම සහ ප‍්‍රයෝජනයට ගත හැකි ආහාර විශාල ප‍්‍රමාණයෙන් විනාශ කිරීම අලූතින් අවධානයට ගත යුතු පැත්තකි. ප‍්‍රංශයේ හෝ වෙනත් රටක මෙන් නීති පනවා පුරවැසියන්ගේ ආහාර වේල පාලනය කරන මට්ටමට ආණ්ඩුවක් පත් කරන්නට කලින් සමාජය තුළ අලූත් ආකාරයට ආකල්ප හැඩගසා ගැනීම සුදුසුය.කුස පුරවන තරමට විශාල ආහාර ප‍්‍රමාණයක් ගැනීමට වඩා ශරීරයට ඔරොත්තු දෙන ආහාර ගැන විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතුය. ගන්නා ආහාර ස්වකීය සෞඛ්‍ය සහ ශරීර ස්වස්ථතාවයට බලපාන්නේ කෙසේදැයි විමසීම වටී. වැදගත්ම කාරණය වන්නේ අපතේ යැවීම වලක්වා ගැනීමයි. ආහාර අපතේ නොයන ආකාරයට පරිභෝජනය ශ‍්‍රී ලංකාවේ වැදගත් චාරිත‍්‍රයක් බවට පත් කරගත යුතුය.

Advertisements