milinda-prashna

2015/05/13 – ලංකාදීප – මිලින්ද මොරගොඩ
වෙසක් පහන්වල ප‍්‍රීති වෙසක් යනුවෙන් ලියා තිබුණේ කලින් පරම්පරාවේය. එම දිනයේ සතුටු වෙන්නැයි එයින් අදහස් කළේ නැත. බුද්ධාලම්බන ප‍්‍රීතිය බෞද්ධයන්ට වැදගත් වූ හෙයින්ය. බුදුන් වහන්සේ ගේ උපත, බුදුවීම සහ පිරිනිවීම සමස්ථ ලෝකවාසීන්ම මහා මංගල්‍යයක් සේ සලකන්නේය. සසර දුකින් එතෙරවීමට මග දැක්වූ බුදුන් වහන්සේ ගේ ධර්මයට අනුව හැසිරී නිවන සාක්ෂාත් කරගැනීම බොදුනුවන්ගේ උතුම් පී‍්‍රතියයි.
එනමුත් වර්තමානයේ වෙසක් නිවාඩුව උත්කර්ෂවත් අවස්ථාවක් වී තිබේ. දන්සැල, තොරණ සහ වෙසක් කූඩුව පී‍්‍රතිය ඇතිකරන කලාප බවට පත්ව ඇත. ශීල ව්‍යාපාර සහ භක්ති ගීත සංදර්ශන වෙනුවෙන් පැවැති උනන්දුව ද මෙවර වෙසක් දිනයේ දී හීන වී තිබූ ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. ජන සමාජයේ සියලූම දෙනා පාරට පැමිණ දන් සැලෙන් කා බී කෙළි දෙලෙන් ගත කිරීම සුලබ දසුනක් විය. දරු දිරියන් ද සමග පැමිණන මහත්වරු සහ නෝනාවරු පැය ගණන් පෝලිම්වල සිට කඩල පැකැට්ටුවක්, මඤ්ඤොක්කා පාර්සලයක් හෝ අයිස් කී‍්‍රම් රැගෙන සුඛෝපභෝගී වාහනයට ගොඩවූයේ අසිරිමත් සතුටක් ලැබූවන් සේය.
නාගරික ජීවිතය ඉතාමත් සංකීර්ණ අවිවේකී එකකි. නිතිපතා දහසකුත් එකක් රාජකාරි වල නියැලී සිටි ඇතැමි දෙනෙකුට සැහැල්ලූවෙන් මහ මගට බසින්නට දන් සැල විවෘත ආරාධනාවක් සකස් කරන ලද බව පෙනේ.

මැදි ආදායම් රටක් වශයෙන් ඉහළට නැගෙන විට රට තුළ තරගකාරීත්වය පවත්වාගෙන යන්නට නම් අසීමිතව වැඩකිරීම හැර අන් විකල්පයක් නැත. එයට සරිලන ආකාරයට නගරය පමණක් නොව ඒ තරමට ගම ද, ගම අවට අර්ධ නාගරික ප‍්‍රදේශ ද වේගයෙන් වෙනස් වෙමින් තිබේ. ඉදිරි කාලය තුළ ශ‍්‍රී ලංකාව ඉහල මැදි ආදායම් රටක් බවට පත් කරන්නට සැලසුම් සකස් කරමින් සිටී. එයින් අ`ගවන්නේ මෙම සංකීර්ණත්වය තවත් වැඩි දියුණු වන බව විනා අනෙකක් නොවේ. දන්සැලේ සතුට තහනම් කිරීම පමණක් නොව ආගමික සහ සමාජ නායකයන් ලවා එය විවේචනය කිරීම පමණක් විස`දුම වන්නේ නැත.
නිදහස සහ සතුට ඉල්ලන ජන සමාජයට එය සරලව වි`දින්නට හැකි පසුබිමක් සකස් කිරීම ආර්ථිකයේම එක කොටසක් බව යෝජනා කළ යුතුව තිබේ. නිදහසේ සැරිසරන, විනෝදයෙන් ගතකරන තැන් සහ එම කාලය රටට අහිමිවූයේ ඇයි? එය නිතර ස`දහන් කරන ත‍්‍රස්තවාදයේ ප‍්‍රතිඵලයකි. සිනමා ශාලා වල රාත‍්‍රී දර්ශන අවලංගු වෙයි. එවැනි තීරණයක් ගැනෙන්නේ පොදු ප‍්‍රවාහන සේවා රාත‍්‍රි කාලයේ දී අඩාලවීම සමගය. බොජුන් සහ අවන් හල් ද හැන්දෑ වන විට දොරවල් වැසෙන තැනට පත්විය. අන්ධකාරය ගලා එන විට හැකි ඉක්මනින් නිවස බලා ගිය ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාවට රාජකාරිය විනා කාර්යාලයෙන් පසු යම් කාලයක් විනෝදවන අවස්ථාව අහිමි වෙයි. පොදුවේ පවත්වන සංදර්ශන සහ සැනකෙළි සීමාසහිත වන්නේ ද ආරක්ෂක ගැටලූ හෙයින්ය.
ත‍්‍රස්තවාදය පරාජය කරන ලද නමුත් සාමකාමී පරිසරයට ජන ජීවිතය පරිවර්තනය වන්නේ එතරම් වේගයෙන් නොවේ. සැකය සහ භීතිය ඇතිව ජීවත් වූ ජනතාව සතුට වි`දින්නට පෙළැඹවීම ඉක්මනින් කරන්නට හැකියාවක් නැත. ඒ ස`දහා පහසුකම් ගණනාවක් සම්පූර්ණ කරන්නට අවශ්‍යය. වර්තමාන ජන සමාජයට අවශ්‍ය කරන සරල සතුටුදායක කලාප රට පුරා තැනින් තැන ඇති කරන්නට අවශ්‍යය. එය ආණ්ඩුවට කළ හැකි එකක් නොවේ. පුද්ගලික අංශය මෙහෙයැවීම වැදගත්ය. තෝරාගත් සැලසුම් අනුව සුදුසු ආයෝජකයන්ට දිරි ගැන්වීම් ලබා දිය යුතු අතර එය අලූත් රැකියා අවස්ථා සහ පලාත් පාලන ආයතන වලට බදු ආදායමක් ලැබෙන රටේ ආර්ථිකය සක‍්‍රීය කරන ව්‍යවසායයකි. එවැනි අංශ හරහා ආහාර පාන වෙළ`දාම දියුණු වන අතර එයට සමාන්තරව පොදු මගී ප‍්‍රවාහනය ද රාත‍්‍රී ගමන් වැඩි කරනු ඇත. දැන් පවතින මගී බස් රථ පැය අටක් දහයක් ධාවනය කර දිනක උපයන ආදායම පහසුවෙන්ම දෙගුණයක් කරගත හැකි සහ කණ්ඩායම් දෙකකට රැකියා කරන්නට හැකි මට්ටමකට දියුණු කරන විනයක් ඇති කළහොත් පවතින පරිසරය ඉක්මනින් වෙනස් වන බව නිසැකය. මේ වෙනුවෙන් අවශ්‍ය විධිවිධාන සහ ප‍්‍රතිපත්ති සකස් කර ආයෝජකයන්ට අවස්ථාව සැපයීම අවශ්‍ය ප‍්‍රමුඛ කාරණයයි.
ඉතාම ඉහළ ආදායම් මට්ටමක් උපයන ජනතාව වෙනුවෙන් විනෝද අවස්ථා රට තුළින් පමණක් නොව රටින් බැහැරව ද ලබා ගත හැකි ස්වභාවය තුළ මැදි හා පහල ආදායම් උපයන ලාංකිකයන්ගේ අවශ්‍යතා වලට ගැලපෙන සහ දරාගත හැකි මිලකට මෙම සතුටු කලාප සංවිධානය කිරීම සුදුසුය. එවිට එය සමාජයට සැනසිල්ල ඇති කරනු ඇත. වැඩ කිරීම පමණක් නොව සතුට ද දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වන අවකාශයක වෙසක් දිනයේ දී දන් සැලට සහ අනෙක් දිනයක පවත්වන සංගීත සංදර්ශනයට යම් සංයමයක් උපයා ගත හැකි වනු ඇත.

Advertisements