milinda-prashna

2015/04/22 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

භාග්‍යවන්ත මාසය ගෙවී යමින් තිබේ. උදාවෙමින් තිබෙන්නේ වෙසක් මාසයයි. බෞද්ධ ජනතාව ආගමික නැඹුරුවක් ඇතිකරන්නේ එළැඹෙන මැයි මාසයේ දීය. අස්වනු නෙලා එහි සතුට සහිතව අලූත් අවුරුද්දකට සූදානම් වන්නේ යම් සේ ද එහි ඇත්තේ මෙලොව සතුටයි. වෙසක් මාසය සමග බොදුනු ජනතාව සියලූ දුක නැති කර පරම සුවය අත්පත් කරගැනීම ගැන අවධානය යොමු කරන්නේය. බෞද්ධ ජනතාවට ආගමික දර්ශනය පෙන්වා දුන් බුදු රජාණන් වහන්සේ ගේ උපත, බුදුබව ලැබීම සහ පිරිනිවීම සිහිපත් කරමින් මලින් සුව`දින් පුදන්නේය. ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් නිවන් මග පසක් කරගැනීමට කැපවන්නේය.

වසන්තය එළැඹෙන විට ගහකොල මලින් සහ ඵලයෙන් පිරී ජීවිත සතුටින් සුන්දරව තබන්නාක් මෙන්ම එයින් ඉනික්බිතිව එළැඹෙන කාලයෙහි දී බැතිබරව මල් පුදා පරලොව ජීවිතය ගැන සිතන්නට පරිසරය සකස්වීම සොබාදහමයි.දේශගුණ කලාපය අනුව සෘතු වෙනස්කම් විශාල ප‍්‍රශ්න ඇති කරන්නේ නැති ශ‍්‍රී ලංකාවට දීර්ඝ නිය`ගය හෝ අධික හිම පතන බලපාන්නේ නැත. කාලගුණයෙන් බරපතල වෙනස්කම් ඇතිනොකරන හෙයින් අපට ගිම්හානයේ සහ සිසිර සෘතු ගැන අත්දැකීම නැති තරම්ය. වැවක පිපෙන නෙලූම් හෝ මානෙල් හැමදාමත් රටට සුන්දරත්වය ඇති කරයි. සමන් පිච්ච, ඉද්ද, වතු සුද්ද මල් යායක් දැකිය නොහැකි ගමක් හෝ නගරයක් ඉතාමත් විරලය.

මල. මලක පිවිතුරු බව සහ මල් යායක ඇති සුන්දරත්වය අප රටට අලූත් දෙයක් නොවේ.නමුත් එක කාලයකට අධික ශීතලෙන් පීඩා වි`දින ජන කොටස් සිටින රටක් එක මෙහොතකින් මල් පිපී ගස් පුරා සුන්දරත්වය පැතිරෙන විට එය මහා සතුටක් ඇති කරන උත්සවයක් බවට පත් කරගනිති. සකුරා මල් පිපෙන කාලයට ජපානය උත්සවයෙන් ඇළලෙන්නේ එහෙයින්ය. සකුරා මල් පදනම් කරගෙන සංස්කෘතික පැවැත්මකට අනුගත වන්නේ ද එහි ඇති සුවිශේෂීබව හේතුවෙන්ය.

පැවැදිව ථෙරවාද ශාසනික ජීවිතයට ඇතුළු වූ පසු අනුගමනය කළ යුතු විනයානුකූල බවක් තිබේ. ගහක කොළයක් කඩා දැමීම විනය උල්ලංඝනයකි. බුදු හිමියන් පුදන්නට මලක් නෙලන්නට නිවන් මග අවබෝධකරගත් උතුමන්ට අකැපය. මල් ආසනයක මල් තබන්නට ද විනයානුකූල පිළිවෙතක් තිබේ. එළැඹෙන වෙසක් මාසයේ දී මල් නෙලා එකතු කර ලක්ෂ සංඛ්‍යාත ප‍්‍රමාණ වලින් බුදුන් පුදන පමණක් නොව බුදු හිමියන් ව`දින්නට යන බැතිමතුන් වෙනුවෙන් මල් දන්සල් පවත්වන විට ද එය විනයක් සහ ගරුත්වයක් ඇතිව කරන්නට අපට වගකීමක් තිබේ.

මලින් බර, සුන්දරත්වයෙන් අනූන රටක අප‍්‍රමාණව ඇති මල් නෙලා ඒ සියල්ල ස්වකීය ආගමික ශාස්තෘවරයානන් ඉදිරියේ තබා ව`දින පුදන බැතිබර සියලූම දෙනාට මලක අසිරිය, එහි පැවැත්ම සහ මලකින් කියාදෙන ජීවිතාවබෝධය ඉතාම වැදගත් කාරණයකි. සකුරා මල් පිපෙන කාලයට සොබා දහමේ චමත්කාරය සමග එකතු වන ජපන් වැසියන් මලක් පූජා කරන විට එය විනයක් අනුව කරන්නට ඉකෙබනා යනුවෙන් කලාත්මක ආකාරයක් ලෝකයට හ`දුන්වා දුන්නේය. ඉකෙබනා මල් කලාව ඇරඹෙන්නේ හුදෙක් මලක් නෙලා එය වි`දින පමණක් නොව ඒ තුළින් එක්තරා ආකාරයකට භාවනාවක් නැතිනම් විනයක් ජීවිතය තුළ ඇති කරන පදනමක් ඇති කරමින්ය. චීනයෙන් බොන්සායි ක‍්‍රමය ඇති වන්නේ ද ගහක් හැදෙන හැටි බලා දීර්ඝ කාලයක් එක අරමුණක පවතින්නටය.

ඉකෙබනා හුදෙක් මලක් නෙලා එය පිදීමක් පමණක් නොවේ. මල් ජීවත්වන බව ඔප්පු කර පෙන්වීමකි. නෙලාගත් මලකට තවත් ජීවයක් එකතු කර ජීවිතය දෙස අලූත් ආකාරයකට බලන්නට ඒ මල දෙස බලන  ඕනෑම කෙනෙකුට ඉඩ හසර වෙන්කර දෙන කලාවකි. එය ඇරඹෙන්නේ ජපානයේ බෞද්ධයන් සහ ස්වාමීන් වහන්සේලා ඇසුරෙහිය. හය වැනි සියවසේ පමණ ඉකෙබනා යනුවෙන් නෙලාගත් මලක් විහාරයකට පූජා කරන කලාව නිර්මාණය කරගත් බව ප‍්‍රකාශ වෙයි. පසුව ඉකෙබනා මල් සැකැස්ම ව්‍යාප්ත වන්නේය. අද වන විට එය හුදෙක් පූජා කිරීමක් පමණක් නොව ජීවන දර්ශනය ගැන දනවන සහ ජීවිතය වි`දින්නට ඉඩ සලස්වන අපූරු මල් සැකැස්මක් ලෙස ලෝකය පුරා ව්‍යාප්තව තිබේ.

එය හදාරන්නට එහි ඇති ශිල්පීය ක‍්‍රම අධ්‍යයනය කරන්නට කුඩා දරුවන්ගේ සිට වැඩි මහල්ලන් දක්වා අති විශාල ප‍්‍රමාණයක් නිරතුරුව උනන්දුවක් දක්වති. සරල සහ කුඩා ප‍්‍රමාණයෙන් කරන සහ එයින් අ`ගවන දෙය කෙරෙහි දකින්නාගේ අර්ථකතනය මෙහි දී ඉතාමත් සිත්ගන්නේය.බුදු පුදට, කෝවිලේ දෙවියන්ට සහ පල්ලියේ අල්තාරයට පමණක් නොව  ඕනෑම ආගමක පූජාවක දී මලකට ඇති ගෞරවය අප‍්‍රමාණය. මලක් නෙලා එය පූජා කරන්නට පමණක් නොව එය පුදන ආකාරය සහ එහි විනය ගැන හිතන්නට ජීවිතයෙන් මෙහොතක් වෙන් කිරීම සුදුසු යැයි සිතමි. එයින් සිතෙහි ඇතිකරවන භාවනාව ජීවිතාවබෝධයකි.

Advertisements