milinda-prashna

2015/03/25 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

මිගෙට්ටුවත්ගේ ගුණානන්ද හිමිපාණන් සමග එකතු වූ මෙරට බොදුනු නායකයෝ බුදු දහම යටපත් කරමින් වැඞී ආ මිෂනාරී ආගමීකරණයට එරෙහිව ශ‍්‍රාස්තී‍්‍රීය විවාද පැවැත්වූහ. පානදුර වාදය එහි උච්ඡතම අවස්ථාව වූ අතර එය මෙරට ජාත්‍යන්තර සම්බන්ධතා හමුවේ සන්ධිස්ථානයකි. එහි ප‍්‍රතිඵලය වූයේ බුදු දහම එහි පණිවුඩය විහිදීමයි. වර්තමානයේ මෙන් තාක්ෂණය සහ විද්‍යුත් තොරතුරු හුවමාරුවෙන් පුවත් විකාශය නොවූ 1800 ගණන් වල ඇමරිකාවේ ජීවත් වූ ඕල්කොට් තුමා මෙම පසුබිම දැන මෙරටට පැමිණියේය. දෙස් විදෙස් වියතුන් එකතු කරගෙන බුදු දහම සහ ජාතිය අවදිකරන බලවේගයක් නිර්මාණය කරන්නේය.

මෙම බෞද්ධ ප‍්‍රබෝධය අරඹෙන්නේ යටත් වී සිටි ජාතිය නිවහල් බව ඉල්ලා සිටින අවස්ථාවේදීය. බටහිරට යටත්වීම සමග කි‍්‍රස්තියානි ආගම ද, අධ්‍යාපනය ද ලංකාව තුළ පතුරුවන්ට අධිරාජ්‍යවාදීහු පියවර ගත්හ. අධ්‍යාපනය දෙන අතර ආගම පැතිරවීය. ස්වදේශිකයන්ගෙන් කොටසක් කැමැත්තෙන් ද, තවත් කොටසක් බලහත්කාරයෙන් ද විජාතික බලවේග වලට නතු වූහ. පරාධීන යුගය අවසන් කරන්නට ජනතාව පෙළ ගැසෙන විට බොදුනු පුනර්ජීවනයට මහත් අනුබලයක් වූයේ හෙන්රි ස්ටිල් ඕල්කොට්, හෙලේනා බ්ලැව්ස්කි, මියුසියස් හි`ගින්ස් වැනි විදේශිකයන් බුදු දහමේ සත්‍යතාව දැක මෙරටට පැමිණ දේශීය නායකයන් සමග එකතුව ඉටු කළ කාර්ය භාරයයි.

කොළඹ ප‍්‍රධාන වීදියේ කුඩා කාර්යාලක් අරඹන්නේය. එය පරම විඥානාර්ථ සංගමයයි. එහි කරන ඉංග‍්‍රීසි ඉගැන්වීමේ පන්තියක සිට බෞද්ධ පාසල් ජාලයක් රට පුරා ඇරඹෙන අතර බෞද්ධ කොඩිය, භක්ති ගීත, වෙසක් කාඞ්, වෙසක් හා තොරණ ද බොදු දහමට සම්බන්ධ ආකර්ශණීය අංග ලෙස සමාජය පුරා පැතිරිණ. අමද්‍යප ව්‍යාපාරය ඇතුළු බොදු සුසිරිත් අගයමින් ඒවා සමාජ ගතකරන්නට මෙරට ආගමික සහ සමාජ නායකයින් සමග එකතුව එයින් ඇති කරන ලද බලපෑම සියුම්ය.
පිටරටකින් පැමිණ ඔහුගේ කාලය ධනය සහ ශක්තිය වැය කර බෞද්ධ ශී‍්‍ර ලාංකේය අනන්‍යතාවයක් ගොඩනගන්නට ඕල්කොට් තුමා ඉටුකරන ලද මෙහෙවර වර්තමාන සමාජය නිසි ආකාරයට අගය කරන්නේ දැයි අද ප‍්‍රශ්න කළ යුතුව තිබේ. ඕල්කොට් මාවතක් ඇත. එතුමාගේ පිළිරුවක් තිබේ. පරම විඥානාර්ථ සංගමය පමණක් නොව අමද්‍යප සංවිධානයක් ද ඇත. එසේ තිබූ පමණින් සමාජ අධ්‍යාශය සාක්ෂාත් වන්නේ දැයි අප විමසා බලන්නේ නැත.

කොළඹ ඉංග‍්‍රීසි පන්තිය ආරම්භ කරන ලද ගොඩනැගිල්ල එලෙසම තිබේ. එතැනින් පළමු පියවර තබා බිහිවූ පාසල් රට තුළ අද්විතීය අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇත. රට පුරා ජාතික පාසල් විශාල ප‍්‍රමාණයකට අනුබලය ලැබෙන්නේ මෙම බලවත් මෙහෙවර හෙයින් බව ද පසුගිය සියවස් ගණන ඇතුලත රට තුළ ධර්ම ශාස්ත‍්‍රීය පුනර්ජීවනයකට මග පැදෙන උල්පත එතැන හා ඒ දැවැන්ත සෙවනැල්ල බව ද පොදුවේ අමතක කරන්නේය.

මෙම ගොඩනැගිල්ල අයිතිකරුවන් ගණනාවක් සිටින ව්‍යාපාරික භූමියකි. දැනි එතැන අයිතිය හා පරිපාලනය සම්බන්ධ අර්බුද මතුව තිබේ. එසේ නමුත් එතැනින් ඇරඹුන අමධ්‍යප ව්‍යාපාරයට රැුස්වන්නට තැනක් නැත. ඕල්කොට් තුමා පරිහරණය කළ ලී බඩු ඇතුළු ඓතිහාසික යම් වටිනාකමක් ඇති දේ මෙම ගොඩනැගිල්ලේ සහ එයට යාබදව තවමත් පවතින බව කියන නමුත් ඒවා ගැන සොයා බලන්නේ හෝ මතු පරපුරට අවබෝධයක් ගත හැකිවන ආකාරයට සංරක්ෂණයට නොකරන්නේ මන්ද? මෙම ප‍්‍රදේශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළ යුතු තැනක් ලෙස හ`දුනාගෙන ඇත. කළ යුතු රජය මැදිහත්වී උරුමය ආරක්ෂා කිරීමය.

රටක පරමධ්‍යාශය විය යුතු ඉතිහාසය අමතක කිරීම නොවේ. පැරණි දේ ඉක්මනින් අමතක කර අලූත් දේ වෙනුවෙන් ගොදුරු වෙමින් සිටින වකවානුවක යුග පුරුෂයන් සහ ඔවුන්ගේ කාර්යභාරය ගැන තක්සේරුවක සිටීම සමාජයේ සියළු පුරවැසියන්ට පැවරෙන පරම යුතුකමකි. අඩුම තරමින් කොළඹ පරමවිඥානාර්ථ සංගමය පදනම් කරගෙන බිහිවූ ආනන්ද, මහින්ද, ධර්මරාජ සහ මලියදේව විදුහල්වල දරුවන්ගේ සිට බොදු පාසලේ අනන්‍යතාවයට මුල් වූ ඕල්කොට් තුමා සහ මෙම සංගමයේ කාර්ය භාරය ගැන පුලූල් අවබෝධයක් ඇති කරන්නට අවශ්‍යය.

Advertisements